රේගුවෙන් ලැබෙන ආදායම වගේම ප්‍රමාණයක් දූෂණය වංචාව නිසා රජයට අහිමි වෙනවා

  👤  3912 readers have read this article !
By mawbima 2018-05-25

රේගුවේ ආදායම හා සමානව දූෂණයක් සිදුවූ බවත්, ලැබෙන ආදායම වගේම ප්‍රමාණයක්
දූෂණය නිසා රටට අහිමිවන බවත් අවධාරණය කරන, මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ලබන අය-වැයට පෙර නව රේගු පනතක් ඉදිරිපත් කරන බව පවසයි.
2020 වනවිට වැට් බද්ද 2.5%කින් අඩුකරන බවද මුදල් ඇමැති සහතිකයක් දෙයි.
ඇමැතිවරයා මේ බව කියා සිටියේ සහකාර රේගු අධිකාරිවරුන් 68 දෙනකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම සඳහා ඊයේ (24දා) මුදල් අමාත්‍යාංශයේ පැවැති උත්සවයකදීය.
දැනට 15%ක්ව පවතින එකතු කළ අගය මත බද්ද 2020 වනවිට 12.5% දක්වා පහත හෙළීම සිය අපේක්ෂාව බවත් අද සියලු ජනතාව වක්‍ර ආකාරයට බදු ගෙවන බැවින් එම ජනතාව වක්‍ර බදු බරින් නිදහස් කිරීම සඳහා 2020 වන විට වැට් බද්ද 2.5%කින් අඩු කිරීමට බලාපොරොත්තු වන බව හෙතෙම අවධාරණය කළේය. 10,000කට අධික පිරිසක් පෙනී සිටි තරග විභාගය සමත් 287 දෙනකු අතුරින් සම්මුඛ පරීක්ෂණයකින් මෙම 68 දෙනා තෝරා ගනු ලැබ ඇත.
මෙම තොරා ගැනීම් සඳහා කිසිදු දේශපාලන මැදිහත්වීමක් සිදු නොවූ බවත්, සුදුස්සාට සුදුසු තැන ලබාදීමේ ප්‍රතිපත්තිය පමණක් ක්‍රියාත්මක වූ බවත් හෙතෙම අවධාරණය කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවැසීය.
ශ්‍රී ලංකාවට නිදහස ලබා දෙන දවසේ එංගලන්තයේ ටයිම්ස් පුවත්පතේ කතුවැකියේ සඳහන් වූයේ වැඩිකල් නොගොස් ශ්‍රී ලංකාව ආසියාවේ ස්විට්සර්ලන්තය වන බවය. ඊට හේතු ලෙස දැක්වුණේ ශ්‍රී ලංකාව මිනිස් සහ ස්වාභාවික සම්පතින් අනූන දිවයිනක් වීමය.
නිදහසෙන් පසු ශ්‍රී ලංකාව ගමන් කළේ ජාතිවාදය, ආගම්වාදය, කුල භේදය පමණක් නොව පක්ෂ භේදය දෙසටය. එහි ප්‍රතිඵලය වූයේ තරුණ කැරලි දෙකක් සහ වසර 30ක් දිග්ගැස්සුණු යුද්ධයකි. උතුරේ හෝ දකුණේ හෝ ඒවායින් මියගියේ රටට වැඩිදායී තරුණ කොටස්ය. වසර 30 යුද්ධය අවසානයේද අප රට සාමයේ මාවතට අවතීර්ණ නොවී යුද්ධයේ මුවාවෙන් ඒකාධිපති මාර්ගය ඔස්සේ ගමන් කරන්නට ඇතැමුන් උත්සාහ කළද 2015දී එම ප්‍රයත්නය ව්‍යර්ථ විය.
ශ්‍රී ලංකාව ඉදිරියට ගමන් කරමින් තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය, සංහිඳියාව සහ සංවර්ධනය යන කුලුනු තුන මතය. ජනාධිපතිවරයා, අගමැතිවරයා වුව විවේචනයට ලක් කළ හැකි, ඔවුන් සම්බන්ධයෙන් වුව අසත්‍ය ප්‍රචාර පැතිරවිය හැකි පරිසරයක් රට තුළ නිර්මාණය වී ඇත. මාධ්‍යවේදීන්ට නිදහසේ සිය පෑන මෙහෙයවීමට වරම් හිමිව තිබේ. ඔවුන් කිසිවකු පසුපස සුදු වෑන් හඹා යන්නේ නැත. විශ්වවිද්‍යාල සිසුහු ඕනෑම ප්‍රශ්නයක් වෙනුවෙන් උද්ඝෝෂණ කරති. කොමිෂන් සභාවක් ඉදිරියට යෑමට අගමැතිවරයාට සිදුවූ විට ඔහු එය මඟ නොහැර ඊට සහභාගි වෙයි. 1980 ගණන්වලින් පසු මුල් වරට අමාත්‍යවරු දෙදෙනෙක් ඉල්ලා අස්වූහ. මේ සැමකකින්ම වැටහෙනුයේ බටහිර රටවල් හා සමාන ප්‍රජාතන්ත්‍රවාදයක්

ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වෙනවා.

2015 දී අපට ලැබුණේ ණය බරෙන් මිරිකුණු රටකි. එහෙත් 2017 දෙසැම්බර් මාසය වන විට වසර හැටකට පසු ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් වාර්තා කර ගැනීමට අපට හැකි විය. ඉතිහාසයේ වැඩිම අපනයනය අපි පසුගිය වසරේ වාර්තා කළෙමු. ඉතිහාසයේ වැඩිම විදේශ ආයෝජන අපට ලැබිණි. වසර 13කට පසු අඩුම විරැකියා අනුපාතය වාර්තා කළෙමු. මේ සියල්ල සිදු කළේ දැවැන්ත ණය බරකට උර දෙමිනි. මේ වසරේදී පමණක් අපට ගෙවීමට ඇති ණය ප්‍රමාණය රුපියල් බිලියන 2845කි. එය අපේ රටේ ආදායමෙන් 90%කටත් අධික මුදලකි. එහෙත් මේ මුදලින් 63%ක්ම 2015ට පෙර ලබාගත් ණය වෙනුවෙන් ගෙවීමට සිදුව ඇත. ලබන වසරේ තත්ත්වය මීටත් බරපතළය. ලබන වසරේදී ගෙවීමට ඇති ණය මුදල රුපියල් බිලියන 4285කි. ඉන් 77%ක්ම 2015ට පෙර ලබාගත් ණය වේ. 2020දී අපට ගෙවීමට ඇති ණය මුදල වන රුපියල් 3768න්ද 78%ක්ම 2015ට පෙර ලබාගත් ණය වෙනුවෙන් ගෙවීමට සිදුව ඇත.

මෙම ණය ගෙවීම සඳහා අප ආදායම් වැඩි කර ගත යුතුය. නව දේශීය ආදායම් පනත හඳුන්වා දෙනු ලැබුවේද ඒ වෙනුවෙනි. එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය මාසයේ පමණක් වන බදු ගොනු 46,000ක් අලුතෙන් විවෘත වී ඇත. අපේ රටේ ආදායමෙන් 82%ක්ම ලැබෙන්නෙ වක්‍ර බදු මඟිනි. සෘජු බදු මඟින් ලැබෙන ආදායම 18%ක තරම් අඩු අගයක පවතී. වක්‍ර බදු ගෙවන්නේ දුප්පත් ජනතාවයි. ඔවුන්ගේ එදිනෙදා පරිභෝජන භාණ්ඩ වෙනුවෙන් ගෙවන මුදල් මෙම වක්‍ර බදු බවට පත්වේ. බෙන්ස් රථයකින් පැමිණි පුද්ගලයාද අහිංසක කම්කරුවාද වක්‍ර බදු ගෙවන්නේ එකම ප්‍රමාණයකි. මෙය රටකට ඉතාම අසාධාරණ තත්ත්වයකි. ඒ අනුව මෙම බදු අනුපාතය 2020 වන විට 40:60 දක්වා වෙනස් කිරීම රජයේ අරමුණය. මාගේ අපේක්ෂාව වන්නේ 2020 වන විට වැට් බද්ද අඩුම තරමින් 2.5%කින් හෝ පහළ දැමිය යුතුය යන්නය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon