ඇලෝසියස්ට දුරකථන ඇමැතුම් දුන් මන්ත්‍රිවරුන් යළි කෝප් කමිටුවට පත් කරලා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන්ගේ විරෝධය

  👤  3897 readers have read this article !
By mawbima 2018-05-25

ඩබ්ලිව්. කේ. ප්‍රසාද් මංජු

අධික වර්ෂාව හේතුවෙන් දියවන්නා ඔයේ ජල මට්ටමද ක්‍රමක්‍රමයෙන් ඉහළ ගොස් තිබුණද මේ දක්වා පාර්ලිමේන්තුවට නම් ගංවතුර තර්ජනයක් නොමැත. නමුත් දියවන්නා ඔයේ ඉදිකර තිබෙන සීමාමාලකයක් ජල මට්ටම ඉහළ යෑම නිසා ඇලවී ඇති බව ඊයේ (24දා) දින මැතිසබයට ප්‍රකාශ කළේ ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකි.

කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව ඒකාබද්ධ විපක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ගාමිණී ලොකුගේ ප්‍රකාශ කළේ දියවන්නා ඔයේ ඉදිකර තිබෙන සීමා මාලකයක් ඇලවී තිබෙන බවයි.

"ගරු කථානායකතුමනි, වර්ෂාව හේතුවෙන් දියවන්නා ඔයේ ඉදිකර තිබේ සීමාමාලකය කඩාගෙන වැටිලාලු. ඒක ඇලවෙලාලු. මේක ගැන සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කරන්න". යනුවෙන් ගාමිණී ලොකුගේ මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේය.

"චම්පික රණවක මෙගා පොලිස් ඇමැතිතුමා හදපු සීමාමාලකය කඩාගෙන වැටිලා, "යනුවෙන් කෑගසුවේ ඒකාබද්ධ විපක්‍ෂයේ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයාය.
ඒ ගැන සොයාබලන බව කරු ජයසූරිය කථානායකවරයා ප්‍රකාශ කළේය.

ජාතික ආණ්ඩුවෙන් ඉවත්වී විපක්‍ෂයේ අසුන්ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන් මුහුණපා තිබෙන ගැටලුවක් සුසිල් ප්‍රේම්ජයන්ත මන්ත්‍රිවරයා කථානායකවරයාගේ අවධානයට ලක් කළේය.

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබ½ද කාරක සභාව "කෝප් කමිටුව" සහ රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව සඳහා අලුතෙන් පත්කිරීම් සිදුකර එම කාරක සභා කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඒකාබද්ධ විපක්‍ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන ඉල්ලා සිටියේය.

මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයාද ඊට යමක් එක් කළේය.

"ගරු කථානායකතුමනි, කෝප් කමිටුවේ සමහර සාමාජිකයන්ම බැඳුම්කර සිද්ධියේ චූදිතයන් වන අර්ජුන් ඇලෝසියස්ට දුරකථන ඇමතුම් ලබාදුන් බවට ජනාධිපති කොමිසමේදී ඔප්පු වුණා. ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර සිද්ධියට අදාළ ප්‍රධාන චූදිතයා සමඟ දුරකථන සංවාද පැවැත්වූ මන්ත්‍රිවරුන් කෝප් කමිටුවට යළි පත්කිරීමට පෙර සිතා බැලිය යුතුයි. මෙය සදාචාරයට අදාළ ප්‍රශ්නයක්. මෙසේ දුරකථන සංවාද පැවැත්වූ පිරිස යළි කෝප් කමිටුවට පත්කරන්න එපා කියලා ඒකාබද්ධ විපක්ෂය ගරු කථානායකතුමාගෙන් ලිඛිතව ඉල්ලීමක් සිදුකර තිබෙනවා. මේ ගැන කථානායකතුමාගේ ස්ථාවරය කුමක්ද?" යනුවෙන් මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා විමසා සිටියේය.

"ඒක ගැන තීරණයක් ගත යුත්තේ පක්‍ෂ නායකයන්. චෝදනා එල්ල වුණාට මදි ඒවා ඔප්පු කරන්න ඕන කියලයි ආණ්ඩු පක්‍ෂය කියන්නේ. එම නම් කෝප් කමිටුවෙන් ඉවත් කරන්න ආණ්ඩු පක්‍ෂය කැමැති නැහැ." කථානායකවරයා ප්‍රකාශ කළේය.

"කෝප් කමිටුව කියන්නේ පාර්ලිමේන්තුවේ උත්තරීතරම කමිටුවට. බැඳුම්කරය ගැන පරීක්‍ෂණ පැවැත්වෙද්දී කෝප් කමිටුවේ ඉඳලාම සමහර සාමාජිකයන් මෙම දුරකථන සංවාද පවත්වලා කියලා ජනාධිපති විමර්ශන කොමිසමේදී ඔප්පු වුණා" යනුවෙන් මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා පැවැසීය.

"මට බලපෑම් කරන්න එපා. ඒ තීන්දුව ගන්න ඕන ආණ්ඩුවයි". කථානායකවරයා ප්‍රකාශ කළේය.

"වංචා, දූෂණ, චෝදනා නැති අය අඩුම ගනනේ කෝප් කමිටුවේවත් ඉන්නවා නම් හොඳයි. මෙහෙම චෝදනා තියෙන සාමාජිකයන් කෝප් කමිටුවේ ඉන්න එක සදාචාර සම්පන්න නැහැ. ඔවුන් පත්කිරීම එතරම් යෝග්‍ය නැහැ". විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේය.

ඒකාබද්ධ විපක්‍ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ගාමිණී ලොකුගේ දීර්ඝ අදහස් දැක්වීමක් සිදුකරමින් ප්‍රකාශ කළේ ඒකාබද්ධ විපක්‍ෂයේ 54 දෙනා වෙනුවෙන් සාධාරණයක් ඉටු නොවෙන බවයි.

එක්සත් ජාතික පක්‍ෂයේ නව ජාතික සංවිධායක ලෙස ඊයේ (24දා) දින සිරිකොත පක්‍ෂ මූලස්ථානයේදී වැඩ භාරගත් පසුව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක කෙළින්ම පැමිණියේ පාර්ලිමේන්තුවටය.

නවීන් දිසානායක පාර්ලිමේන්තුවේ මැතිසබයට පැමිණෙන විට විවාදයට ගනිමින් තිබුණේ ශ්‍රී ලංකා තේ මණ්ඩල (සංශෝධන) පනත් කෙටුම්පතයි.

වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක තරමක් ප්‍රමාද වූ නිසා එම සංශෝධන පනත් කෙටුම්පත නවීන් දිසානායක අමාත්‍යවරයා වෙනුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිටියේ ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක, ගයන්ත කරුණාතිලක අමාත්‍යවරයාය.

"නවීන් දිසානායක පැමිණෙන බව දුටු ගයන්ත කරුණාතිලක ඔහුට සුබ පැතුවේය.

නවීන් දිසානායක ඇමැතිතුමා මේ එන්නේ නව ජවයකින්. එක්සත් ජාතික පක්‍ෂයේ නව ජාතික සංවිධායක ලෙස දැන් වැඩ භාරගැනීමෙන් අනතුරුවයි මේ එන්නේ" යනුවෙන් ගයන්ත කරුණාතිලක අමාත්‍යවරයා ප්‍රකාශ කරන විට නවීන් දිසානායක සිනහමුසු මුහුණින් ඊට ප්‍රතිචාර දැක්වීය.

විවාදයට එක්වූ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති කියා සිටියේ "සිලෝන් ටී" නාමය ආරක්ෂා කර ගැනීමට හැකිවී නොමැති බවයි.

"තේ මංගල්‍යය නමින් වැඩසටහනක් කරනවා, තේ ප්‍රවර්ධනය කරන්න කියලා. නමුත් ප්‍රවර්ධනය වෙලා නැත්තේමත් තේ පමණයි. තේවලට සීනි කලවම් කිරීමේ ජාවාරමකුත් ක්‍රියාත්මකයි". යනුවෙන් තේ කර්මාන්තය සම්බන්ධයෙන් පවතින ගැටලු රැසක් ගැනම සුනිල් හඳුන්නෙත්ති විසින් පෙන්වා දෙන ලදී.

මේ වෙලාවේ කරු ජයසූරිය කථානායකවරයා තේ කෝප්පයක රස වින්දේය.

"ශ්‍රී ලංකා තේ මණ්ඩලය මුදල් අමාත්‍යාංශය යටතට ගන්න හදනකොට ඊට එරෙහිව සටන් කරලා මේක රැකගත්තේ මමයි. මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය ගත්තා ඡ්ඊජ් එක ගත්තා. නමුත් මේක බේරගන්න කොන්දක් මට තිබුණා. ශ්‍රී ලංකා තේ මණ්ඩලය ගන්න හැදුවනම් මං ඇමැතිකමෙන් ඉල්ලා අස්වෙනවයි කිව්වා. එහෙමයි මං මේක බේරගත්තේ. නමුත් සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රිතුමා ඒ ගැන වචනයක්වත් කතා කළේ නැහැ." යනුවෙන් නවීන් දිසානායක අමාත්‍යවරයා තරමක් වේගයෙන් කතා කළේ එදා හිටපු මුදල් ඇමැති රවි කරුණානායක සමඟ තමන් හැප්පුණු හැටි සිහිගන්වමිනි.

ඒ සමඟම ඊට ප්‍රතිචාර දැක්වීමට නැඟී සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හ½දුන්නෙත්ති මන්ත්‍රිවරයාය.

"අද කතා නොකළාට එදා ඔබතුමා වෙනුවෙන් මුළු පාර්ලිමේන්තුවෙන්ම කතා කළේ මං විතරයි. මේ ආයතනය මුදල් අමාත්‍යාංශයට පවරා ගැනීමට එපා කියලා මං එදා විශාල හඬක් නැඟුවා". යනුවෙන් සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රිවරයා අතීත සිද්ධියක් සිහිපත් කළේය.

"ස්තුතියි". යනුවෙන් නවීන් දිසානායක, සුනිල් හඳුන්නෙත්තිට ප්‍රතිචාර දැක්වීය.

විවාදයට එක්වූ ඒකාබද්ධ විපක්ෂයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේද නවීන් දිසානායක අමාත්‍යවරයාට සුබ පැතුවේය.

"එක්සත් ජාතික පක්‍ෂයේ නැඟී එන නායකයෙක් විදියට අපි ඔබතුමාට සුබ පතනවා. එදා 1993 මං මධ්‍යම පළාත් සභාවේ පළමු වැනි කතාවට මට කරුණු දුන්නේ ඔබතුමාගේ පියා ගාමිණී දිසානායක මැතිතුමා. එදා දෝෂාභියෝග ගෙනල්ලා බොහොම රැඩිකල් තීන්දු ගත්තු නායකයෙක් ගාමිණී දිසානායක මැතිතුමා. ඒවාගේ රැඩිකල් තීන්දු ගන්න ඔබතුමාත් කටයුතු කරන්න. ඔබතුමා තේ අරමුදල රැකගත්තා. ඒ සටනේ අපිත් ඉන්නවා. එක්සත් ජාතික පක්‍ෂයේ යම් වෙනසක් කරන්න ඔබතුමාට හැකිවේවි. අරයා වැඩක් නැහැ. එයාට කට්ටිය තල්ලුවක් දුන්නා. ඒත් වැඩක් වුණේ නැහැ. එයා වැඩ බැරි ටාසන් කෙනෙක්".

යනුවෙන් පැවැසූ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා ආණ්ඩු පක්‍ෂයේ ඉදිරිපෙළ හිස් අසුන වෙත ඇඟිල්ල දිගුකරමින් පෙන්වූයේ ඔහු කියන වැඩ බැරි ටාසන්ට හිමි අසුන එම ආසනය බව හඟවමිනි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon