පතහේගල ප්‍රදේශයෙන් මුව මස් කිලෝ 23ක් හා කොතල හිඹුටු තොගයක් අත්අඩංගුවට

  👤  3786 readers have read this article !
By mawbima 2018-05-25

මොනරාගල - සංජීව බණ්ඩාර

ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයට අයත් පතහේගල ප්‍රදේශයේ පෙරේදා (23දා) පස්වරුවේ සිදුකළ වැටලීමකදී වියළි මුව මස් කිලෝග්‍රෑම් 23ක් සමඟ රුපියල් ලක්ෂයක් පමණ වටිනා විවිධ ප්‍රමාණයන්ට කපන ලද කොතල හිඹුටු කෑලි 29ක් අත්අඩංගුවට ගත් බව තණමල්විල කිතුල්කොටේ වනජීවී කාර්යාලය පවසයි.

මේ වැටලීමේදී වනජීවී නිලධාරීන් දැක සැකකරුවන් පලාගොස් ඇති අතර සැකකරුවන් පැමිණි පාපැදි 03ක් වනජීවී නිලධාරීන්ගේ භාරයට ගෙන තිබේ.
ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයට අයත් පතහේගල ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදුණු වනජීවී නිලධාරීන් පිරිසක් විසින් මේ වියළි මස් තොගය හා කපා සකස් කළ කොතල හිඹුටු තොගය අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් විසින් කපා ඇති කොතලහිඹුටු වැල වසර සියයකට වඩා පැරණි එකක් බවට වනජීවී නිලධාරීන් සැකකරන අතර ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය තුළ මොවුන් කලක පටන් කොතල හිඹුටු ජාවාරමේ හා දඩයම් ජාවාරමේ නියැළෙන්නට ඇතැයි වනජීවී නිලධාරීහු සැක කරති.

තණමල්විල කිතුල්කොටේ වනජීවී කාර්යාලයේ වන සත්ත්ව අඩවි ආරක්ෂක අයි.ටී. රංජිත් මහතාගේ ප්‍රධානත්වයෙන් වනජීවී ක්ෂේත්‍ර නිලධාරි කේ.එල්. සංකල්ප, වනජීවී රියැදුරු පී. වසන්ත, සිවිල් ආරක්ෂක බළකා නිලධාරීන් වන සුසන්ත (24437), පද්මසිරි (26757), තරංග (26200) යන නිලධාරීහු මේ වැටලීම සඳහා එක්ව සිටියහ. වනජීවී නිලධාරීන් පවසන්නේ පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශනයක් අරඹා ඇති බවයි.
තණමල්විල කිතුල්කොටේ වනජීවී කාර්යාලය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon