වැස්ස වැඩිවෙයි තත්ත්වය දරුණු වෙයි

  👤  4160 readers have read this article !
By mawbima 2018-05-23

ඉෂාරා සිල්වා, උපතිස්ස පෙරේරා, ආරියරත්න ගනේගොඩ, නුවන් හෙට්ටිආරච්චි

මහ වැසි ඇදහැලීම් හා පස් කඳු කඩාවැටීම් වැනි අයහපත් කාලගුණ තත්ත්වයන් හේතුවෙන් ඊයේ වනවිට පුද්ගලයන් 9 දෙනකු මියගොස් තවත් හැත්ත දහසකට ආසන්න පිරිසක් පීඩාවට පත්ව සිටිති.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඊයේ (22දා) පස්වරුවේ නිකුත් කළ නිවේදනයට අනුව දිස්ත්‍රික්ක 17ක පවුල් 18,079කට අයත් පුද්ගලයන්් 68,343 දෙනකු පීඩාවට පත්වී සිටියි.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුවූ ආපදාවලින් නිවාස 25කට පූර්ණ වශයෙන් හානි සිදුව ඇති අතර නිවාස 1,464කට අර්ධ හානි සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සංඛ්‍යා දත්ත හෙළි කරයි.

අවදානම් ප්‍රදේශවල සිටි පවුල් 6,710කට අයත් පුද්ගලයන් 24,187ක් ආරක්ෂිත ස්ථාන 168කට යොමු කිරීමටද සහන සේවා අංශ මඟින් පියවර ගෙන තිබේ.
ආපදා තත්ත්වයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයටය. එම දිස්ත්‍රික්කයේ පවුල් 3,983කට අයත් පුද්ගලයන් 13,000කට අධික පිරිසක් පීඩාවට පත්ව සිටිති.

පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 4,256කට අයත් පුද්ගලයන් 12,760 දෙනකු පීඩාවට පත්ව සිටින අතර, ඉන් පවුල් 2,497කට අයත් පුද්ගලයන් 6,182ක් ආරක්ෂිත ස්ථාන 59ක රඳවා සිටින බව දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේය.

කළුතර දිස්ත්‍රික්කයේ පවුල් 1278කට අයත් පුද්ගලයන් 4666 දෙනකු පීඩාවට පත්ව සිටින අතර, කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 144කට අයත් පුද්ගලයන් 761 දෙනකු පීඩාවට පත්ව සිටින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

මේ අතර, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ ඉහළ කොත්මලේ ජලාශයේ වාන් ‍ෙදාරටුවක් ඊයේ (22දා) පෙරවරු 10 සිට ස්වයංක්‍රියව විවෘත වී පවතී. තවදුරටත් වැසි ලැබුණහොත් සෙසු වාන් ‍ෙදාරටුද විවෘත වන බැවින් ජලාශ වේල්ලට පහළින් සිටින පදිංචිකරුවන් ඒ ගැන සැලකිලිමත්ව සිටිය යුතු බව එම විදුලි බලාගාර ඉන්ජින්රුවෝ ජනතාවගෙන් ඉල්ලා සිටිති.

කැලණි ගඟ පිටාර ගැලීම හේතුවෙන් බියගම, මල්වාන, බණ්ඩාරවත්ත, මාපිටිගම, කඩුවෙල, හංවැල්ල යන ප්‍රදේශ ජලයෙන් යටවී ඇති අතර, කැලණිය-බියගම මාර්ගයේ ගමනාගමනයටද එයින් බාධා එල්ල වී තිබේ. එමෙන්ම අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කඩුවෙල අන්තර් හුවමාරුවෙන් වාහන පිටවීම නතර කර තිබේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කර සිටින්නේ ඉහළ ජලපෝෂක ප්‍රදේශවලට සහ ගංගාධාර ආශ්‍රිතව ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් කැලණි, කළු, ගිං ගංගා සහ මා ඔයේ ජල මට්ටම යළි ඉහළ යමින් පවතින බවයි.

නිල්වලා ගඟේ සහ අත්තනගලු ඔයේ ජල මට්ටම් මේ වනවිට පහත බසිමින් තිබෙන බවත් කෙසේ නමුත් දින කිහිපයක් යනතුරු ජලාශ පරිහරණය කිරීමෙන් වැළකී සිටින ලෙසටත් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මීට අමතරව පොල්ගොල්ල ජලාශයේ වාන් ‍ෙදාරටු 07ක් තවමත් විවෘතව පවතින අතර එමඟින් පිටවන ජලය මහවැලි ගඟට නිකුත් කෙරෙන බැවින් ඒ පිළිබඳව විමසිලිමත් වන ලෙස මහවැලි අධිකාරිය ජනතාවට දැනුම් දෙයි.

ලක්ෂපාන ජලාශයේ වාන් ‍ෙදාරටු මේ වනවිට වසා දමා තිබෙන අතර රාත්‍රි කාලයේ වැසි ඇතිවුවහොත් ජලාශයේ වාන් ‍ෙදාරටු යළි විවෘත කිරීමට සිදුවන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

කෙසේ වෙතත් දැදුරු ඔය ජලාශයේ වාන් ‍ෙදාරටු 08ක් තවමත් අඩිය බැගින් විවෘතව පවතින අතර මේ හේතුවෙන් පුත්තලම සහ ආණමඩුව ඇතුළු ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී පවතී.

ගාල්ල දිස්ත්‍රික්කයේ කුරුපනාව, නාගොඩ සහ බුදපනාගම ප්‍රදේශ සහ මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස, පානදුගම යන ප්‍රදේශවල පහත් බිම් රැසක් තවමත් ජලයෙන් යටවී පවතී.

කඩුපිටි ඔය පිටාර ගැලීම හේතුවෙන් හලාවත-කොළඹ මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා එල්ලවී තිබෙන අතර, රතඹලාඔය පිටාර ගැලීමත් සමඟ සේරු කැලේ සහ මදවක්කුලම යන ගම්මානවල පහත් බිම් රැසක් ජලයෙන් යටවී ඇත.

අධික වර්ෂාව හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ, කුරුවිට, කිරිඇල්ල, ඇළපාත සහ කලවාන ප්‍රදේශවල පහත්බිම් රැසක් ජලයෙන් යටවී තිබෙන අතර සිදුවිය හැකි අනතුරු වළක්වා ගැනීම සඳහා අදාළ ප්‍රදේශවල විදුලිය විසන්ධි කරනු ලැබිණි.

මේ අතර කළුතර, රත්නපුර, කෑගල්ල, නුවරඑළිය සහ ගාල්ල දිස්ත්‍රික්කවලට තවදුරටත් නායයෑමේ අවදානම බලාත්මක කළ බව ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේය.

පස් කඳු කඩාවැටීම හේතුවෙන් අවහිර වී තිබූ හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය එක් මංතීරුවකට සීමා කර ඇති අතර, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කර සිටියේ පස් කඳු කඩාවැටුණු ස්ථාන අවදානම් බැවින් එම මාර්ගවල වාහන ධාවනය කිරීමේදී සැලකිලිමත් වන ලෙසයි.

අධික වැසි හේතුවෙන් හැමිල්ටන් ඇළ පිටාර ගලා රාගම - පුත්තලම දුම්රිය මාර්ගයේ තුම්මෝදර ප්‍රදේශය ජලයෙන් යටවීම නිසා එම මාර්ගයේ දුම්රිය ධාවනය ලුනුවිල දුම්රිය ස්ථානය දක්වා සීමා කර ඇති බව දුම්රිය පාලක මැදිරිය කියයි.

ජලය බැසගිය පසු දුම්රිය මාර්ගය පරීක්ෂාවෙන් අනතුරුව එම මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්කරන බවත් දුම්රිය පාලක මැදිරිය ජනතාවට දැනුම් දෙයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටින්නේ ඉදිරි දිනවලදීත් බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල මිලිමීටර 150ට වැඩි වැසි ඇති විය හැකි බවයි.

අයහපත් කාලගුණය හේතුවෙන් පීඩාවට පත් වූ ජනතාවට අවශ්‍ය සහන සැලසීමේ කටයුතු සිදු කෙරෙමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon