ආපදා විවාදයට කථානායක එරෙහි වෙයි

  👤  3809 readers have read this article !
By mawbima 2018-05-23

ජේ.ටී. ද සිල්වා, පහන් විජේසේකර

ගංවතුර, නාය යෑම් මැද ඉන්ධන, බස් ගාස්තු බඩු මිල ඉහළ යෑම් පිළිබඳව සාකච්ඡා කිරීමට ඒකාබද්ධ විපක්ෂය ඉල්ලා සිටි එක්දින විවාදයට, කථානායක කරු ජයසූරිය අවසර නොදීම නිසා පාර්ලිමේන්තු රැස්වීම උණුසුම් විය.

දිනේෂ් ගුණවර්ධන

'කථානායකතුමනි ගංවතුර හා නාය යෑම් නිසා රටේ බොහෝ පළාත්වල විශාල පිරිසක් පීඩාවට පත්ව සිටිනවා. පවුල් දහස් ගණනක් අවතැන් වෙලා.'

'ඉන්ධන මිල වැඩි කිරීම, භාණ්ඩ මිල ඉහළ යෑම, බස් ගාස්තු ඉහළ යෑම නිසා රටේ ජනතාව පීඩාවට පත්වෙලා. මේ නිසා පාර්ලිමේන්තුව මෙය හදිසි තත්ත්වයක් ලෙස සලකා අද දවසේ විවාදයක් කරන්න ඕනෑ. ඒ සඳහා අවස්ථාව සලසා දෙන්න.'

'ජන ජීවිතවලට හා ආර්ථිකයට ඇති වී තිබෙන පීඩනය විශාලයි. අපි කාටත් මේ තත්ත්වය ගැන අවධානය යොමු කරන්න සිදුවෙලා තිබෙනවා. ස්ථාවර නියෝග 19 (1) යටතේ අද දවසේ විවාදයක් ලබාදෙන ලෙස ඉල්ලනවා.'

කථානායක

'ජනතා විමුක්ති පෙරමුණ ඊයේ ලිඛිතව ඉල්ලීමක් කර තිබෙනවා, ඉන්ධන මිල හා භාණ්ඩ මිල ඉහළ යෑම පිළිබඳ සභාව කල් තැබීමේවිවාදයක් අද ලබා දෙන්න කියලා. දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිතුමා අද උදේ ලිඛිත ඉල්ලීමක් කළා, ගංවතුර පිළිබඳ විවාදයක්.'

'අද උදේ පක්ෂ නායක රැස්වීමේදී අපි තීරණය කළා. ජනතා විමුක්ති පෙරමුණ කළ ඉල්ලීමට අනුව පැය හතරක සභාව කල් තැබීමේ විවාදයක් ලබා දෙන්න. අද න්‍යාය පත්‍රයේ තිබෙන ප්‍රධාන කටයුතු සඳහා පැය දෙකක විවාදයක් පවත්වා සභාව කල් තැබීමේ විවාදයක් පැවැත්වීමට තීරණය කළා. ඔබතුමාත් ඒ සාකච්ඡාවට සහභාගි වුණා. ඔබතුමාගේ ඉල්ලීමට අද ඉඩදෙන්න බැහැ.'

සභානායක

'පක්ෂ නායක රැස්වීමේදී මෙතුමා කැමැති වුණා. පක්ෂ නායක රැස්වීමේදී එකඟ වූ දේට පටහැනිව මෙතුමා කතා කරනවා.'

බන්දුල ගුණවර්ධන

'පක්ෂ නායක රැස්වීමට වඩා පාර්ලිමේන්තුව ලොකුයි. මන්ත්‍රිවරුන් 21 දෙනෙක් මෙතැන නැඟිටලා මේ හදිසි විවාදය ඉල්ලනවා. කථානායකතුමනි, ඔබතුමා සභාවේ අනුමැතිය ලබාගෙන මේ විවාදය ලබා දෙන්න.'

උදය ගම්මන්පිල

'ගරු කථානායකතුමනි, මේ සභාව උත්තරීතරයි. මන්ත්‍රිවරු 21ක් නැඟිට්ටට පස්සේ මේ ඉල්ලීම ගැන ඔබතුමා තීරණයක් ගන්න.'

සභානායක

'රීති ප්‍රශ්නයක්, 19 වැනි වගන්තිය යටතේ ලිඛිත ඉල්ලීමක් කරන්න ඕන.'

කථානායක

'ලිඛිත ඉල්ලීමක් කළා.'

දයාසිරි ජයසේකර

'පක්ෂ නායක රැස්වීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය සහභාගි වුණේ නැහැ.'

සභානායක

'සරත් අමුණුගම ඇමැතිතුමා සහභාගි වුණා.'

වාසුදේව නානායක්කාර

'කථානායකතුමනි, අතීත සම්ප්‍රදායයන් දිහා ටිකක් හොයල බලන්න. හදිසි ගංවතුරක් ඇතිවෙලා. ජන ජීවිතවලට බලපාන හදිසි තත්ත්වයක් ඇති වී තිබෙන නිසා අපි ඉල්ලන්නෙ විවාදයක්. ඔබතුමා කථානායක හැටියට අපේ පැත්තෙ ඉන්න ඕනෑ. මම දන්නෙ නෑ ඔබතුමා කාවද ආරක්ෂා කරන්නේ කියලා.'

කතානායක

'මම කවුරුවත් ආරක්ෂා කරන්නෙ නැහැ. මම පැහැදිලි කරල දුන්නා. මෙතැන බාධා කරන්නෙ නැතිව සභාවෙ කටයුතු කරන්න ඉඩ දෙන්න.'

බන්දුල ගුණවර්ධන

'ඔබතුමා කාටවත් පක්ෂපාතී වෙන්න එපා. ඔබතුමා බෙදීමක් දෙන්න.'

කථානායක

'පරණ ඒවා අවුස්සන්න එපා ගරු මන්ත්‍රිතුමාල. මම තීරණයක් දීල තියෙන්නේ. මට ආපස්සට යන්න බැහැ. සභානායකතුමා...'

දිනේෂ් ගුණවර්ධන

'සභාවේ අනුමැතිය පතන්න පුළුවන්. සභාව විරුද්ධ නම් ඡන්දෙ විමසල බලන්න පුළුවන්. ගංවතුර ගැන කතා කරන්න ඉඩ දෙන්න. ඇයි මේ රටේ ජනතාව දුකට පත්වෙලා ඉන්න වෙලාවෙ විරුද්ධ වෙන්නේ.'

'ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ස්ථානය පාර්ලිමේන්තුව. පාර්ලිමේන්තුවේ වැඩි පිරිසක් ඉල්ලනවා නම් අවස්ථාව ලබා දෙන්න.'

කථානායක

'ප්‍රතික්ෂේප කළාට පස්සෙ. ආපසු දෙන්න බැහැ. ඒකයි ප්‍රශ්නෙ.'

අගමැති

'කථානායකතුමනි, ඔබතුමා තීරණයක් දුන්නා. ඒ තීරණයට අනුව කටයුතු කරන්න. ඒක යෝජනාවක් දාලා වෙන දවසක කතා කරමු. යෝජනාවක් කළොත් කොමිටියක් පත් කරන්නම්.'

දයාසිරි ජයසේකර

'ගරු කථානායකතුමනි, මේ පනත හෙට කතා කරමු. හෙට උදේට ඉර පායන කොට මේ පනත සම්මත වෙලා තියෙන්නෙ ඕන නැහැනේ. මේ රටේ අහිංසක ජනතාවගේ ප්‍රශ්න අපිට මේ පාර්ලිමේන්තුවේදී කතා කරන්න අයිතියක් තියෙන්න ඕන.'

මහින්දානන්ද අලුත්ගමගේ

'මේ ආයෝජන ගැන කතා කළාට වැඩක් නැහැ. බල්ලෙක්වත් ආයෝජනවලට එන්නෙ නැහැ. මේක විශේෂකාරණයක්. ඒ නිසා කථානායකතුමා මේකට ඉඩ දෙන්න.'

බිමල් රත්නායක

'ඉන්ධන මිල ඉහළ යෑම ගැන අපි යෝජනාවක් දීල තියෙනවා. ඒක ජනතාවට අද විශාල ප්‍රශ්නයක්. ගංවතුරත් විශාල ප්‍රශ්නයක්.'

දිනේෂ් ගුණවර්ධන

'මේ අමාත්‍යාංශය යටතේ කෙරෙන වැඩ ගැන දන්නවා. චීනය පවා කියනවා චීනය රැවැට්ටුවා කියලා. මලික් සමරවික්‍රම ඇමැතිතුමා, තමුන්නාන්සේ මේ පාර්ලිමේන්තුවට ඇවිල්ල අපිවත් රැවැට්ටුවා. චීනය දැන් දූපතක් ඉල්ලනවා. මේ පනත් දෙක හෙට විවාද කරන්න අපි සූදානම්.'

මලික් සමරවික්‍රම

'මම එහෙම කරලා නෑ.'

සභානායක

'න්‍යායපත්‍රය හදන්නෙ අපි. මේගොල්ලො නොවේ.'

දිනේෂ් ගුණවර්ධන

'කථානායකතුමාට ජනතාවගේ දුක තේරෙන්නේ නැහැ. මොකක්ද මේ කරන්නේ. මේක මහජනතාවට බලපාන ප්‍රශ්නයක්.'

කථානායක

'මහජනතාවගේ ප්‍රශ්නවලට අපේ හදවත උණුවෙනවා. ඔබතුමාට වගේම අපිටත් දුකක් තියෙනවා. මට තියෙන්නෙ යකඩ හිතක් නොවේ. මට දුක හොඳට තේරෙනවා.'

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon