බස් ගාස්තු වැඩිවීම අද සිට ක්‍රියාත්මකයි

  👤  3858 readers have read this article !
By mawbima 2018-05-23

උපතිස්ස පෙරේරා

රුපියල් 10 අවම බස් ගාස්තුව රුපියල් 12 දක්වාද, ඉන් ඔබ්බට වූ බස් ගාස්තු සියයට 12.5කින්ද, අද (23දා) සිට ක්‍රියාත්මක වන ලෙස ඉහළ නංවා ඇති බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා ප්‍රකාශ කරයි.

මෙම ගාස්තු ඉහළ දැමීමට අදාළව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකාවට ඊයේ (22දා) අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

බස් ගාස්තු ඉහළ නැංවීම සම්බන්ධයෙන් ඊයේ (22දා) සවස ප්‍රවාහන අමාත්‍යවරයා සමඟ එම අමාත්‍යාංශයේ පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාවට ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහභාගි නොවූ අතර, ඒ වෙනුවට නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා සහභාගි වෙමින්, නව ගාස්තු චක්‍රය ජාතික ගමනාගමන කොමිසම මඟින් ඊයේ (22දා) නිකුත් කර ඇතැයි සඳහන් කළේය.

කෙසේ වුවද ඉදිරි වසර දෙකක කාලය තුළ යළිත් වරක් බස් ගාස්තු ඉහළ දැමීමක් නොකළ යුතු බවට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයිද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

එහිදී ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ස්ටැන්ලි ප්‍රනාන්දු මහතා සඳහන් කළේ කැබිනට් මණ්ඩලයේ එම තීරණය පිළිගත නොහැකි බවත් ඩීසල්, ටයර්, ටියුබ්, ලිහිසි තෙල් ඇතුළු අමතර කොටස් මිල ඉහළ යන්නේ නම් බස් ගාස්තු ඉහළ දැමීමෙන් වැළකී සිටීමට බස් සංගම්වලට හැකියාවක් නොමැති බවත්ය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon