විපතට පත් ප්‍රදේශවල දිවි බේරාදී සහන සැලසීමට නාවික හමුදා මෙහෙයුම්

  👤  3889 readers have read this article !
By mawbima 2018-05-23

පවතින අයහපත් කාලගුණයත් සමඟ කලවාන ප්‍රදේශයේ සායනයක් වෙත යමින් සිටියදී සුළු ගංවතුර තත්ත්වයකට මැදි වූ ගැබිනි මවුවරුන් 09 දෙනකු බේරා ගැනීමට හැකි වූ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් දිනේෂ් බණ්ඩාර මහතා පවසයි.

එසේම වලල්ලාවිට ප්‍රදේශයෙන් පුද්ගලයන් 13ක්ද, ආනමඩුව ප්‍රදේශයෙන් පුද්ගලයන් 9 දෙනකුද, ගිරිඋල්ල ප්‍රදේශයෙන් පුද්ගලයන් 03 දෙනකුද ගංවතුරට හසුවී සිටියදී බේරා ගැනීමට හැකි වූ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

තවද දකුණ, බස්නාහිර, සබරගමුව සහ වයඹ යන පළාත් සඳහා නාවික හමුදාව සහන සැලසීමේ කටයුතු සිදු කරමින් සිටී. ඒ අනුව මේ වන විට ඩිංගි යාත්‍රා 38ක් සහිත නාවික සහන කණ්ඩායම් 38ක් පසුගිය මැයි 20 වැනි දින සිට අදාළ ස්ථාන වෙත අනුයුක්ත කිරීමට කටයුතු කර ඇති අතර, නාවික හමුදා මැරීන් බළකායට සහ නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ, මුදා ගැනීමේ සහ සහන සැලසීමේ ඒකකයට (4අඋ) අනුයුක්ත නාවික පුද්ගලයන් මෙන්ම විශේෂ යාත්‍රා බලගණයට සහ නාවික හමුදා කිමිඳුම් අංශයට අනුයුක්ත නාවිකයන් සිය මෙහෙයුම් මේ වන විට ආරම්භ කොට ඇත.

එමෙන්ම ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ ස්ථාපිත කර ඇති ආපදා ප්‍රතිචාර මධ්‍යස්ථානය මඟින් ඊයේ උදෑසන ක්ෂණික අවශ්‍යතාවකදී භාවිතයට ගත හැකි ලෙස ජංගම මුළුතැන් ගෙවල්, ආහාර පිසීමේ උපකරණ, ආහාර උණුසුම් කිරීමේ උපකරණ, කූඩාරම්, වතුර පොම්ප සහ ජංගම වැසිකිළි ආදී උපකරණ රැගත් ට්‍රක් රථ කිහිපයක් රත්නපුර දිස්ත්‍රික්කය බලා පිටත් කර යැවීමට කටයුතු කර තිබේ.

තවද, දකුණු පළාතේ ගංවතුරින් අවතැන් වූ ජනතාවට සහන සැලසීම සඳහා සූදානමින් නාවික හමුදා සහන කණ්ඩායම් 11ක් යොදවා ඇති අතර, බස්නාහිර පළාතේ ගංවතුරෙන් අවතැන් වූ ජනතාව එම ප්‍රදේශයෙන් ඉවත් කිරීම හා ඔවුන්ට සහන සැලසීමට සූදානමින් ආපදා සහන කණ්ඩායම් 10ක්, සබරගමුව පළාතේ ගංවතුරෙන් අවතැන් වූ ජනතාව එම ප්‍රදේශයෙන් ඉවත් කිරීම හා ඔවුන්ට සහන සැලසීමට සූදානමින් ආපදා සහන කණ්ඩායම් 13ක් සහ වයඹ පළාතේ සහන සැලසීම සඳහා සහන කණ්ඩායම් 04ක් යොදවා ඇත.

ගාල්ල දිස්ත්‍රික්කයේ වක්වැල්ල, පිටබැද්දර හරහා රත්ගම දක්වා දිවෙන අතුරු මාර්ගයේ ගිං ගඟ හරස් කොට ඉදි කර ඇති පාලම හරහා කුණු රොඩු එකතු වීම හේතුවෙන් ජලය බැස යෑම අවහිර වී ඒ ආශි්‍රත ප්‍රදේශය ජලයෙන් යටවීමේ අවදානමකට ලක්ව තිබිණි. එබැවින් ජලය බැස යෑම කඩිනම් කිරීම සඳහා නාවික හමුදා, විශේෂ යාත්‍රා බලගණයට අනුයුක්ත සහන සැලසීමේ කණ්ඩායමක් එම ස්ථානය වෙත යෙදවීමට නාවික හමුදාව කටයුතු කොට ඇත.

එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ මතුගම, අවිත්තාව යන ප්‍රදේශයේ පාලමක් හරහා කුණු රොඩු එකතුවීම හේතුවෙන් ජලය බැස යෑම අවහිරවී තිබූ අතර, ඒ සඳහා සහන කණ්ඩායමක් යොදවා ජලය බැස යෑම කඩිනමින් කිරීමට නාවික හමුදාව කටයුතු කරන ලදී.

මේ වන විට නාවික හමුදා මැරීන් බළකායට අනුයුක්ත නාවික පුද්ගලයන් 94කින් සමන්විත සහන කණ්ඩායමක් නවගමුව ප්‍රදේශය වෙත අනුයුක්ත කර ඇත.

චාමර අමරසූරිය

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon