ඇමැති රාජිතගේ ප්‍රකාශය දෙමළ බෙදුම්වාදීන්ටත් බටහිර දුෂ්ට බලවේගවලටත් ආස්වාදයක්-රාජිත ඇමැතිවරයාගේ ප්‍රකාශය ගැන ගැටඹේ නාහිමියන්ගෙන් නිවේදනයක්

  👤  3946 readers have read this article !
By mawbima 2018-05-23

ත්‍රස්තවාදියා සහ රණවිරුවා අතර ඇති වෙනස හඳුනා ගැනීමට නොහැකි මොළේ උණ වැලඳුණ දේශපාලකයන් තමන්ගේ ආණ්ඩුව තුළ සිටින බව අතිගරු ජනාධිපතිතුමන් රණවිරු සමුළුවේදී ප්‍රකාශ කොට තිබිණි. මේ කතාවට නිමිත්ත වන්නට ඇත්තේ ආණ්ඩුවේ කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න ඇමැතිවරයා පුන පුනා ප්‍රකාශ කළ ජාතිද්‍රෝහී කතාව විය හැකිය. රණවිරුවන් අතින් සාමාන්‍ය දෙමළ ජනතාව ඝාතනය වූ බවත් මැයි 18 උතුරේ සැමරුණේ් එසේ ඝාතනය වූ අහිංසකයන් බවත් ප්‍රකාශ කළ ඇමැතිවරයා තවදුරටත් කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ විජේවීර මහතා සහ ප්‍රභාකරන් මහතා අතර කිසිදු වෙනසක් නොමැති බවත් ඔවුන් දෙදෙනාම මිනීමරුවන් බවත්ය. ඇමැතිවරයා කළ මෙම ප්‍රකාශයෙන් ජනාධිපතිතුමාද තරමක් අපහසුතාවට පත්වූයේ එවන් දුෂ්ට ප්‍රකාශයක් ආණ්ඩුවේ කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය සාකච්ඡාවකදී ආණ්ඩුවේ කැබිනට් ප්‍රකාශකයා විසින්ම කර තිබීම යැයි මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පේරාදෙණිය ගැටඹේ රාජෝපවනාරාමාධිපති කැප්පිටියාගොඩ සිරිවිමල නාහිමියෝ පවසති.

රාජිත ඇමැතිවරයාගේ ප්‍රකාශය දෙමළ බෙදුම්වාදීන්ට මෙන්ම දේශය ගිල ගැනීමට ඇඟිලි ගණිමින් සිටින බටහිර දුෂ්ට බලවේගයන්ට ඉමහත් ආස්වාදයක් ගෙන දෙන්නක් බවත් රට ජාතිය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ගේ ඥාතීන් තුළත් ඒ වෙනුවෙන් ඉමහත් කැපකිරීම් කොට ආබාධිත වූ රණවිරුවන්ගේ හදවත් තුළත් ඔවුන්ට සෙත් පැතූ මහා සංඝරත්නය ඇතුළු මේ රටට ආදරය කරන සමස්ත සිංහල බෞද්ධ ජනතාව තුළත් ඇති කළේ ඉමහත් කම්පනයක් බවද එම නිවේදනයේ දැක්වේ.

එම නිවේදනයේ මෙසේද දැක්වේ.

ඔවුන් හිතුවේ මෙය ආණ්ඩුවේ නිල මතය වන බවයි. හේතුව සාමාන්‍යයෙන් කැබිනට් ප්‍රකාශකයකුගේ මුවින් පිටවෙන දෑ ඔහුගේ පෞද්ගලික මතයන් නොවන බැවිනි.

යහපාලනය බලයට පත්වූ දා සිටම කළ කී දේත් ඉටු කළ කටයුතුත් නිර්මාණය කළ විවිධ ව්‍යුහයන්ගෙනුත් පැහැදිලි වූයේ ඒවා රටට ද්‍රෝහී වූත්, බටහිර බලවේග සහ බෙදුම්වාදීන් පිනවීම සඳහාත් කළ කී දේ ලෙසය. සුදු කොඩි කතාවෙන් පසු ජාත්‍යන්තර අධිකරණ, අතුරුදන් වූවන්ගේ කාර්යාල, බෙදුම්වාදී ව්‍යවස්ථා ගෙන එමින් කරගෙන යන ක්‍රියාදාමයට රාජිත ඇමැතිවරයා සැපයුවේ කදිම සාක්ෂියකි.

නොසෙල්වුණු එඩිතර දේශපාලන නායකත්වයක් යටතේ රණවිරුවන් එදා කළ විජයග්‍රහණය නොවන්නට අද මේ රටේ කිසිම දේශපාලකයකුට කිරීමට දේශපාලනයක්වත් රටක්වත් ඉතිරි නොවන බව ඔවුන්ට නොතේරෙන්නේ නොදත්කම නිසාම නොවේ, කුහකකම නිසාය. අද ඔවුන් භුක්ති විඳින ජයග්‍රහණයේ වාසිය රාජපක්ෂලාටත් ඔවුන් විසින් මෙහෙයවූ රණවිරුවන්ටත් අත්වන නිසාය. රණවිරුවන්ගේ සාධාරණ ඉල්ලීම්වලට ඇහුම්කන් දෙනු වෙනුවට අධි පීඩන ජල විදිනයන්ගෙන් හා කඳුළු ගෑස්වලින් පිළිතුරු දී ආබාධිතයන් තව තවත් ආබාධිතයන් කළේ ඒ නිසා විය හැකිය. එවන් වූ විජයග්‍රහණයකට නායකත්වය දුන් රාජ්‍ය නායකයන් පසුපස හඹා යමින් ඔවුන් කොටුකර ගැනීමට, අත්අඩංගුවට ගත් සොල්දාදුවන්ගෙන් බලහත්කාරයෙන් කට උත්තර ගැනීමට උත්සාහ ගන්නේත් බෙදුම්වාදී අවශ්‍යතා මත බව පැහැදිලි වේ. බටහිර බෙදුම්වාදීන් ඉදිරියේ දණින් වැටී සිටින ආණ්ඩුවේ බලධාරීන්ගේ මෙකී දුෂ්ට උත්සාහයන් පිළිබඳ අපට ඇත්තේ කෝපයක් නොව සැබැවින්ම කනගාටුවකි. ඒ මන්ද කිවහොත් මේ රටේ ජීවත් වන්නේ අඩුම තරමින් එක් වේලක් හෝ බත් කන ජාතියක් නිසා ඔවුන් බතේ සුවඳ මෙන්ම කෙළෙහිගුණද දන්නා නිසාය. ජනතාවගේ හදවත්වල ගැඹුරින් සටහන්ව ඇති සිතුවම් බලහත්කාරයෙන් හෝ ගොබෙල්වාදී බොරු බේගල්වලින් මකා දැමීමට කිසිවකු සිතන්නේ නම් ඒ තරම් මුළාවක් තවත් නැති තරම්ය.

අද වන විට ජනමතයේ මහෝඝයට හසුවී ගසාගෙන යන ආණ්ඩුවට ජීවත් වීමට ඇති මාස කීපය තුළදී එල්ලීමට ඇති එකම පිදුරු ගස වී ඇත්තේ සංහිඳියාවය. තනි අතින් ගසන අත්පුඩියක් වැනි වූ ආණ්ඩුවේ සංහිඳියාවේ එකම අරමුණ වී ඇත්තේ සුළු වාර්ගික දේශපාලන පක්ෂවල එල්ලී බලය පවත්වාගෙන යෑමය. ඒ නිසාම ඔවුන් කුමක් කළත් කුමක් කීවත් ඉවසා සිටිනවා හැර කළ හැකි කිසිවක් ආණ්ඩුවට නැත. උතුරේ මෙතෙක් නොකළ කොටි සැමරුම් රාජ්‍ය ප්‍රතිපාදනවලින් කෙරෙද්දීත් රජයේ නිලධාරීන් හිතුවක්කාරීව පාසල් සහ කාර්යාල අබියස පළාත් කොඩි අඩකුඹුකොට වෙනම රාජ්‍යයක් සංකේතවත් කරද්දීත් ඉතා බරපතළ ප්‍රකාශයක් වූ දෙමළ ජනසංහාර දිනයක් ප්‍රකාශයට පත් කරද්දීත් ආණ්ඩුව නිහඬ වී සිටීමෙන් පැහැදිලි වන්නේ එක්කෝ නායකයන්ගේ නොහැකියාව, නැතහොත් බලය වෙනුවෙන් වැදූ මව හා දිනූ බිම වුවත් පාවාදීමට සූදානම් බවය. කැබිනට් ප්‍රකාශකයාද මාධ්‍ය ඉදිරියේ රණවිරුවන් මිනීමරුවන් කළේ දමිළ බෙදුම්වාදීන් සතුටු කිරීමේ ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුව ඉටු කිරීමට බව පැහැදිලිය.

වත්මන් පාලනයට මතක් කර දියයුතු වැදගත් කරුණක් තිබේ. එනම් තෙවරක් බුදුන්ට පිදූ මේ රටට වින කිරීමට කිසිවකුටත් ඉඩ නොලැබෙන බවත් රටේ බහුතර ජනතාවගේ හෘද සාක්ෂිය වෙනස් කළ නොහැකි බවත්ය. ඔවුන් දැනටමත් ඉතිහාසයෙන් උගත් පාඩම් අනුව වැරැදීම් නිවැරැදි කොට, රටට, ජාතියට, ශාසනයට ආදරය කරන පාලකයන් නැවත බලයට පත්කර ගැනීමට තීරණය කොට ඇති බැවින් ශීලාචාර මහත්වරුන් ලෙස ජනමතයට හිස නැමීමට සූදානම් විය යුතු බවය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon