හේතුවාදීන් සඟවන ‘මුස්ලිම්කරණය’

  👤  4480 readers have read this article !
By mawbima 2018-05-23

සිංහලයා ලංකාවේ
සුළු ජාතියක් වෙයිද?
සංවාදය

'සිංහලයා ගුණාත්මක අවදානමකට මුහුණ පාලා' හිසින් අප්‍රේල් 25 'මව්බිම'ට තාරක වරාපිටිය මහතා විසින් ලිපියක් ලියා තිබිණි. හේතුවාදීන්ගේ සංගමයේ ලේකම් ලෙස පෙනී සිටිමින් ඔහු මාර්තු 21 ලියූ' 'මුස්ලිම්වරුන් මෙරට මහ ජාතිය වන බව කීම පල් බොරුවක්' හිසින් ලියූ ලිපියට අප්‍රේල් 18 දින මා ලියූ ලිපියට පිළිතුරක් ලෙසින්ය.

ඒත් මාර්තු 21 ලිපියට යොදා ඇති සිරස තමන් නොයෙදූ බව ඔහු කියයි. ඔහු කියන්නේ සත්‍යයක් නම්, එම සිරස යෙදීම සිංහලයාට වඩා 6 ගුණයකින් මුස්ලිම් ජනගහනය ව්‍යාප්ත වන බවට මතයක් ඇති (සැබෑ යථාර්ථය යටපත් කරන අදහසින්) කිරීමට දැරූ උත්සාහයට ඔහුගේ කුලකයේ සිටින තවකකුගේ උල්පන්දම් දීමක් විය හැකිය. ඔවුන් සියලු දෙනාට අවශ්‍ය වී තිබෙන්නේ සත්‍යය වසන් කිරීමේ ද්‍රෝහිකම ඉටු කිරීම පමණි.

මුස්ලිම්වරුන් 6 ගුණයකින් වැඩිවීමේ ප්‍රලාපය පසෙක තබමින් 'මුස්ලිම්වරුන් මෙරට මහ ජාතිය වන බව කීම පල් බොරුවක්' වැනි මාතෘකාවක් මවිසින් යොදන්නට ඉඩ නොමැත්තේ වසර පන්සියයකින් හෝ ඊට වැඩි කාලයක් පිළිබඳ අනාවැකි කීමට නොහැකි බැවිනි.' යනුවෙන් ඔහු ඊළඟ මුළා කිරීමට සැරසෙයි. මෙරටින් පිටරටවලට සිදුවන සංක්‍රමණ ඊට හේතුවන බවද කියයි. ඒත් ජනගහන වර්ධන වේගය වත්මන් සොබාවයෙන්ම පැවතුණහොත් මුස්ලිම් ජන වර්ගයා විසින් සිංහල ජාතිය අභිභවා යෑමට එපමණ කලක් ගත නොවන බව පැවැසීමෙන් ඔහු වැළකෙයි. පෙනෙන දේට වඩා නොපෙනෙන දෙයක් ගැන ගජබින්න සමාජගත කිරීමට ව්‍යාජ හේතු දක්වයි. ඒත් පසුව ජනගහන වර්ධන වේගය පිළිබඳ සත්‍යය ජනතාවට අවබෝධ වී ඇති නිසා ඒ සම්බන්ධ බේගල් තවදුරටත් සමාජගත කිරීමට නොහැකි බව එම ලියුම්කරු තේරුම්ගෙන ඇති සෙයකි.

අනෙක් අතට මෙහි තේමාව සිංහල ජාතිය අරබයා වන්නක් නිසා අනෙක් ජනවර්ගවලට නොමැති අභියෝගයක් සංක්‍රමණ නිසා සිංහල ජාතියට තිබේ නම් එය හේතු සහිතව පෙන්වා දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. මක් නිසාදයත් පල්හෑලි ඇදබෑමෙන් හෝ වචන හරඹවලින් පමණක් සත්‍යය ප්‍රකාශ නොවන බැවිනි.

'අපේ රටේ සිංහල හෝ දෙමළ ජාතිකයන් විදේශ රටවලට සංක්‍රමණය වීම නිසා ඒ රටවල වාර්ගික සංයුතිය වෙනස් කරමින් ඇත.' මේ ඔහුගේ තවත් කතාවකි. දෙමළ ජනයා ගැන මට ඇවැසි නැත. සිංහල ජාතිය සංක්‍රමණය වීමෙන් විදේශ රටවල ජන සංයුතිය වෙනස් වීමට තරම් හේතුවක් වී ඇත්නම් එයද පෙන්වා දෙන ලෙසද කාරුණිකව ඉල්ලා සිටිමි.

'රණවීර වැනි අය ගණනය කරන පරිදි භූමිපුත්‍ර ඕස්ට්‍රේලියානුවන්ද සිය රටට සංක්‍රමණය වී සිටින සිංහලයන්ගේ හෝ දෙමළ අයගේ ජනගහන වර්ධනය 200% හෝ 300% හෝ ගණනය කොට ඔවුන්ට එරෙහිව එදිරිවාදී මානසිකත්වයක් ගොඩනඟන්නේ නැත' ලියුම්කරුගේ මේ හිතලුවද තමන්් මුල් ලිපියෙන් පෙන්වා දුන් කරුණුවල සත්‍යාසත්‍යභාවය පෙන්වීම පසෙක තබා හත්පොළේ ගා ගැනීමකි. එහෙත් ඕස්ට්‍රේලියානුවන්ගේ එදිරිවාදය කෙබඳුද යන්න එම රටේ අනන්‍යතාව අනුව ජීවත් වීමට නොහැකි ඉස්ලාම් අයට තමන් කැමැති රටකට යන්නයි අගමැති මැල්කම් ටර්න්බුල් සිදු කළ ප්‍රකාශයෙන් පැහැදිලි වෙයි. ඒත් සිංහල බෞද්ධ උගත් පුරවැසියන්ට එවැනි තර්ජන නැත.

සිංහල ජනතාව බහුතර ලෙස ජීවත් නොවන දිස්ත්‍රික්කවල වැඩිම ජනගහන වර්ධනයක් පෙන්වන බවත් වවුනියාව (1.97), අම්පාර (1.68) ඒ සඳහා උදාහරණ ලෙස මා දක්වා ඇති බවත් ප්‍රකාශ කරන ලේඛකයා එය සංඛ්‍යාන සාක්ෂරතාව නොමැති පාඨකයා නොමඟ යවන්නක් බවද කියයි. ඔහු ඊට හේතු ලෙස දක්වන්නේ 'ජනගහනය අඩු දිස්ත්‍රික්කයක කුඩා ජනගහන වර්ධනයක් විසින් වුව ප්‍රතිශතාත්මක අගය විශාල කොට දැක්විය හැකිය. ඒ නිසා එවැනි නිගමනයක් තුළින් නිවැරැදි චිත්‍රය පෙන්නුම් නොකරයි' යනුවෙන් වේ.

ඒත් ජනගහන අඩුම දිස්ත්‍රික්ක අනුපිළිවෙළට ගණනය කළහොත් වවුනියාවට (172,115) හිමිවන්නේ තෙවැනි ස්ථානයයි. අම්පාරට (649,402) හිමි වන්නේ ‍ෙදාළොස්වැනි ස්ථානයයි. ඔහුගේ තර්කය වවුනියාවට අදාළ වේ යැයි මොහොතකට සිතුවත් අම්පාර සලකන කල එය මුසාවක් බව ප්‍රත්‍යක්ෂ වෙයි.
ඒ අනුව ඔබ කියන සංඛ්‍යාන සාක්ෂරතාව නොමැති හුදී ජනයා නොමඟ යවන්නේ මා නොව ඔබම බව පැහැදිලි වෙයි. මේ අතර ඔහු වවුනියාව පිළිබඳ මෙසේද කියයි.
'වවුනියාවේ පොලිස් ස්ථානවලට අනුයුක්තව සිටි (සිංහල) පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 14,000ක් පමණ විය. සාමාන්‍ය පදිංචිය යන සංගණන අර්ථ දැක්වීම යටතේ ඔවුන්ද එම දිස්ත්‍රික්කයේ ජනගහනයට ඇතුළත් විය. ඒ නිසා සන්දර්භයෙන් වියුක්ත කොට තමන්ට තමන්ව අවශ්‍ය අර්ථකථනය නිරූපණය කරන අයුරින් ඉලක්කම් නිර්මාණය කිරීම ශිෂ්ට සම්පන්න නොවේ.'

වවුනියාව දිස්ත්‍රික්කයේ 1981 සිටි ජනගහනය 95,428කි. එය 2011 වන විට 172,115 දක්වා 76,687 කින් වැඩි වී තිබේ. සිංහල ජාතිය 15,794 සිට වැඩි වී ඇත්තේ 1,344කින් පමණි. එවැනි පසුබිමක් තුළ ලියුම්කරු සඳහන් කරන පරිදි පොලිස් නිලධාරීන් 14,000ක් වැඩි වූයේ කෙසේද? යන්නද ඔහු පැහැදිලි කළ යුතුව තිබිණි. ඔය කියන තරම් වවුනියාවෙන් හා මුලතිව්වලින් වවුනියාවට සංක්‍රමණය වූ බව කීම පූර්ණ සත්‍යයක් නොවේ. ඒ 2011 වන විට අඩුම සංක්‍රමණ ප්‍රමාණයක් 2.6%ක් පෙන්නුම් කරන්නේ උතුරු පළාතේ නිසාය. අනෙක ඔබ කියන පරිදි සංක්‍රමණ නිසා ජනගහන වර්ධනය වැඩි වූවා නම් වැඩිම සංක්‍රමණයක් සිදුවී ඇති කොළඹ දිස්ත්‍රික්කය (16.2%) ජනගහන වර්ධනය අතින් 13 වැනි තැනට පල්ලම් බසින්නේද නැත.

'මුස්ලිම් ජනගහනය මහ ජාතිය වන බව පල් බොරුවක් බව මාර්තු 21 කියූ ලියුම්කරු අප්‍රේල් 25දා තමන් කියුවේ පල් බොරුවක් බව මෙසේ පිළිගෙන ඇත. ඒ, මුස්ලිම් ප්‍රජාව තුළ දරු උපත් සංඛ්‍යාව සාපේක්ෂව තරමක් ඉහළ යන බව ප්‍රතික්ෂේප කරන කිසිවකු නැත.' යනුවන් දක්වමින්ය. මේ සියලු විග්‍රහයන්හි මූලය එයයි. මුල් ලිපියෙන් එවැන්නක් පිළිනොගත්තද දෙවැනි ලිපියෙන් එය පිළිගැනීම මේ අදහස් දැක්වීම්වලට හොඳ ප්‍රවේශයකි.

මුස්ලිම් ප්‍රජාව සිංහලයා අභිභවා යෑමේ ප්‍රවණතාවේ ඇරැඹුම එයයි.

එසේ යථාර්ථය පිළිගන්නා හේතුවාදී ලියුම්කරුවා පරස්පර අදහස් දක්වමින් මුස්ලිම් ජනගහනය වැඩි නොවන බවට යළි යළිත් කටමැත ‍ෙදාඩවයි. ඒ සඳහා සංඛ්‍යා වගුවක්ද ගෙන හැර දක්වයි. එම වගුව අනුව වුවද මුස්ලිම් ජනගහනය වැඩිවන බව සක් සුදක් සේ පැහැදිලිය. ඔහු මේ සම්බන්ධව ලියූ ලිපි දෙකෙන්ම අවධාරණය වන පරිදි සිංහල ජාතියෙත් අනෙකුත් ජනවර්ගවලත් උපත් ජනගහනය උච්චාවචනය වී ඇත. එහෙත් මෙහිදී වැදගත් වන්නේ එලෙස උපත් අඩු වැඩි වීම නොවේ. එය සැලකිය යුතු කරුණක්ද නොවේ. ඊට හේතුව වඩාත් වැදගත් වන්නේ ඒ ඒ ජන කොට්ඨාසවල ජනගහන වර්ධනයයි. ඒ අනුව 2011 ජනගහනයට (ඉන් පසුව එවැනි නිශ්චිත වාර්තාවක් ලැබී නොමැත) සාපේක්ෂව සැලකීමේදී 2013 වසර තුළදීත් මුස්ලිම් ජනගහනය 2.30%ක වේගයෙන් වර්ධනය වෙමින් ඇත. ඒත් සිංහලයන්ගේ වර්ධනය 1.28%ක පහළ අගයක් ගනී. මෙහිදී පැහැදිලි වන තවත් අතිරේක කාරණයක් වන්නේ 2012ට වඩා 2013 තුළ වැඩි වර්ධනයක් පෙන්වන ශ්‍රී ලංකා දෙමළ ප්‍රජාව සංඛ්‍යාත්මකව පවා අභිභවමින් මුස්ලිම් ප්‍රජාව වර්ධනයක් පෙන්නුම් කිරීමයි. ඒ අනුව දැන් ලබ්බට අත තියා අවසන්ය. ලබ්බට තැබූ අත පුහුලට තබන යුගය එතරම් දුර නැත. මෝඩයන්ට අමතරව සත්‍ය හේතු නොදකින හේතුවාදී තක්කඩියන් අනාවරණය නොකරන යථාර්ථය එයයි. සත්‍ය හේතු එසේ වන කල බුද්ධිමත් පාඨකයන් අබිමුව නම් මා 'අවලංගු' නොවේ.

මෙය තවත් සරලව පැහැදිලි කරනවා නම් කොළඹ දිස්ත්‍රික්කයේ සිංහල ජනගහන 1981 සිට 2011 වන විට 460,136කින් වැඩි වී ඇත. එහෙත් මුස්ලිම් ජනයා එම කාලය තුළ වැඩි වී ඇත්තේ 139,743 සිට 249,609 දක්වා 109,866කින් පමණි. වරාපිටිය මහතා නඟන තර්කයට අනුව මෙහිදී බැලූ බැල්මට සිංහලයා වැඩි වී ඇති බවක් පෙනේ. එහෙත් ඒ ඒ ජන කොට්ඨාසවලට සාපේක්ෂව බැලූ කල සැබෑ ලෙසම සිංහලයා අඩු වී ඇති බවත් මුස්ලිම් වැඩි වී ඇති බවත් සත්‍ය යථාර්ථයයි.

සිංහල ශිෂ්ටාචාරය බිහි කළ සිංහලයන්ගේ රටේ තවමත් ඔවුහු වැඩි වශයෙන් සිටිති. එහෙත් අනෙකුත් ජනවර්ග ශීඝ්‍ර ව්‍යාප්තිය අනුව බලන කල සිංහලයන්ගේ සංඛ්‍යාත්මක වැඩි බවක් පෙන්නුම් කිරීම යනු තාවකාලික බොරුවක් පමණි. එම බොරුවෙන් සිංහලයා සිහි මූර්ඡා කොට වෙනත් ජනවර්ග ශ්‍රී ලංකාව තුළ බහුතරය වන තුරු සැනසිල්ලේ සිටින්න යනු දුෂ්ට සංවිධානවල පැතුමයි. වරාපිටිය මහතා ඒ වෙනුවෙන් පෙනී සිටින්නකු
පමණි.

සිංහලයන්ගේ ගුණාත්මක බව ගැන ලියුම්කරු සිටින්නේ විස්සෝපයෙන් සේය. එහෙත් මෝඩ කරුණු දැක්වීම් සනාථ කර ගැනීමට ගුණාත්මක බව ආදී යෙදුම් භාවිත කරනවාට වඩා ඇති තතු විග්‍රහයක යෙදෙන්නේ නම් එය සමාජ ප්‍රගමනයට හේතු විය හැකිය.

ඒ නිසා මා අප්‍රේල් 18 දින සිංහල ජාතිය අභිභවා මුස්ලිම් ජනවර්ගය වැඩි වන බවට සිදු කළ උපුටා දැක්වීම්වලට ඍජු පිළිතුරු දෙන ලියුම්කරුට හෝ අන් අයකුට දන්වමි.
(සංවාදයට විවෘතයි)

දෙනගම ධම්මික රණවීර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon