විදෙස්ගත ශ්‍රමිකයන්ට මේ වසරේ කෝටි 4ක් වන්දි ගෙවලා-විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි

  👤  3947 readers have read this article !
By mawbima 2018-05-23

දෙනගම ධම්මික රණවීර

විදේශගත ශ්‍රමිකයන් සඳහා ලබාදෙන රක්ෂණ වන්දි පහසුකම් යටතේ මෙම වසරේ පළමු මාස හතර තුළදී රුපියල් කෝටි හයක වන්දි මුදල් ප්‍රදානය කර ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

ඒ අනුව හදිසි අනතුරු සහ රෝගී තත්ත්වයන් නිසා මරණයට පත් වූ විගමණික ශ්‍රමිකයන් සඳහා රුපියල් මිලියන 34.41ක වන්දි මුදලක් ප්‍රදානය කර ඇත. විදෙස් රටක සේවය කරමින් සිටියදී හෝ සේවය කරන අතරවාරයේදී අසනීප තත්ත්වයක් මත මෙරටට පැමිණ මාස තුනක් ඇතුළත මියගිය අය සඳහා මෙම වන්දි මුදල ප්‍රදානය කර තිබෙන බව කාර්යාංශය පවසයි.

විවිධ රෝගාබාධයන්ට සහ හිංසාවන්ට ලක්වූ පුද්ගලයන් 623 දෙනකු සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ රක්ෂණය යටතේ රුපියල් මිලියන 25.58ක මුදලක් ලබාදී ඇත. වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා මෙම මුදල ලබාදී තිබේ.

පසුගිය වසර දෙකේදී රක්ෂණ වන්දි ලෙස රුපියල් මිලියන 292.88ක මුදල් විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් ලබාදී ඇත. 2016 වසරේදී හදිසි අනතුරු හා රෝගාබාධ නිසා මරණයට පත්වූ සහ රෝගී තත්ත්වයන් මත ප්‍රතිකාර ලබන විදේශගත ශ්‍රමිකයන් සඳහා රුපියල් මිලියන 180.89ක මුදලක්ද 2017 වසරේදී රුපියල් මිලියන 111.99ක මුදලක්ද මෙසේ ලබාදී ඇත. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා විදේශ රැකියා සඳහා පිටත්ව යන සියලුම ශ්‍රමිකයන් සඳහා රක්ෂණ ක්‍රමයක් විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් හඳුන්වාදී ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon