අධ්‍යාපන පරිපාලන සේවයේ වෘත්තීය ක්‍රියාමාර්ගයට පූර්ණ සහයෝගය දෙනවා-ලංකා ගුරු සේවා සංගමය කියයි

  👤  3969 readers have read this article !
By mawbima 2018-05-23

අධ්‍යාපන පරිපාලන සේවයේ දේශපාලන පත්වීම් එක්දහස් අසූ පහකට එරෙහිව එම සේවයේ නිලධාරීන් අද (23දා) ක්‍රියාත්මක කිරීමට නියමිත වෘත්තීය ක්‍රියාමාර්ගයට ලංකා ගුරු සේවා සංගමය පූර්ණ සහයෝගය පළ කරන බව සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසයි. අධ්‍යාපන අමාත්‍යාංශය කැබිනට් අනුමැතිය ඇතිව, දේශපාලන පළිගැනීම් මත අධ්‍යාපන පරිපාලන සේවයට 285ක් හා විදුහල්පති සේවයට පත්වීම් 800ක් ලබා දීමට යන බවත්, විශේෂයෙන් මෙවැනි නාම ලේඛනයක් මීට පෙර ඉදිරිපත් වූ අවස්ථාවේ ඒ සඳහා කටයුතු කළ අධ්‍යාපන ලේකම් විසින් පත් කළ කමිටුව හා එහි නිර්දේශය අභියෝගයට ලක් කරමින් තම සංගමය විසින් ශේ‍ර්ෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම මේ වනවිට විමර්ශනය වෙමින් පවතින තත්ත්වයක් යටතේ නැවතත් අදාළ නාම ලේඛනය යම් යම් සංශෝධන සහිතව ඉදිරිපත් කර ඇති බවත් හෙතෙම පෙන්වා දෙයි.

සේවා ව්‍යවස්ථාවට පටහැනිව එහි මූලික සුදුසුකම් පවා අභියෝගයට ලක් කරමින් රාජ්‍ය සේවයේ වගකිවයුතු සේවාවන්ට මෙවැනි පත්වීම් රාශියක් සිදු කිරීම තුළ ව්‍යවස්ථානුකූල සුදුසුකම් මත පත්වීම් ලබන විශාල නිලධාරීන් පිරිසකට බරපතළ අගතියක් සිදුවන අතර අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුණාත්මක බව පිරිහීමට මෙය බෙහෙවින් බලපාන බවටත් ඔහු චෝදනා කරයි.

මේ අමාත්‍ය මණ්ඩල නිර්දේශය සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ලබාදීමට කටයුතු කළහොත් එහි පත්වීම් බලධාරියා ලෙස සමස්ත රාජ්‍ය සේවයටම ලබා දෙන අතිශය නරක පූර්වාදර්ශයක් හෙයින් ඊට එරෙහිව නීත්‍යනුකූලව පියවර ගැනීමටත්, ක්ෂේත්‍රයේ සෙසු වෘත්තීය සමිති හා සංවිධාන ඒකාබද්ධව තවදුරටත් ඉදිරි ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට කටයුතු කරන බවත් ලංකා ගුරු සේවා සංගමය අවධාරණය කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon