නගරයේත් ගමේත් පන්සල් රකින්න අපි ඇප-කැප වෙනවා ගමේ පන්සල්වල තිබෙන ප්‍රශ්න විස¼දා ගැනීමට දායකත්වය ලබා දෙනවා

  👤  3879 readers have read this article !
By mawbima 2018-05-23

නගරයේ විහාරස්ථාන සේම ගමේ විහාරස්ථානත් ආරක්‍ෂා කළ යුතු බව අවධාරණය කරන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, නගරයේත්, ගමේත් පන්සල් පිරිහී යෑමට වත්මන් ආණ්ඩුව කිසිදු විටෙක ඉඩලබා නොදෙන බව පවසයි.

සමාජය සංකීර්ණ වීමත් සමඟ ආධ්‍යාත්මික කටයුතු සඳහා ඇති ඉල්ලුම දිනෙන් දින වැඩිවෙනවා මිස අඩු නොවන බව පෙන්වා දෙන හෙතෙම එම ආධ්‍යාත්මික දියුණුව ලබාදෙන විහාරස්ථාන දියුණු කිරීමට පියවර ගත යුතු බව සඳහන් කරයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පෙරේදා (21දා) අරලියගහ මැඳුරේදී පැවැති කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ තිබෙන විහාරස්ථාන සඳහා මුදල් පරිත්‍යාග කිරීමේ උත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වූ අවස්ථාවේදීය.

මෙහිදී කොළඹ නගර සභාව විසින් මෙම වැඩසටහන වාර්ෂිකව සංවිධානය කරන අතර එහිදී නගර සභා බල ප්‍රදේශයේ පිහිටි සියලු ආගමික මධ්‍යස්ථාන වෙත රුපියල් 50,000 බැගින් මූල්‍ය පරිත්‍යාග පිරිනැමීම සිදුකෙරිණි.

එම උත්සවය අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් මෙසේද පැවැසීය.

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ විහාරස්ථාන සඳහා වෙසක්, පොසොන් උත්සව වෙනුවෙන්ද, එදිනෙදා නඩත්තු කටයුතු වෙනුවෙන්ද විශාල මුදලක් වැය වෙනවා. මේ කටයුතු සඳහා විහාරස්ථානවලට මුදල් සොයා ගැනීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවෙයි. විහාරස්ථාන බොහොමයක් පිහිටා තිබෙන්නේ කොළඹ නගරයේ දුප්පත් ජනතාව ජීවත්වන ප්‍රදේශ ආශි්‍රතවයි.

දානපතියන් සිටින ප්‍රදේශවල පිහිටි විහාරස්ථාන සීමා සහිතයි. එම නිසා විහාරස්ථානවල කටයුතු ඉදිරියට ගෙන යෑම සඳහා අතහිතදීමක් ලෙස වාර්ෂිකව මෙම මුදල් සම්මාදන් ලබාදෙනවා. නගරයේ විහාරස්ථාන මෙන්ම ගමේ විහාරස්ථානත් අප ආරක්‍ෂා කරගත යුතුයි. එම සියලු විහාරස්ථාන දියුණු කර ඉදිරියට ගෙන යායුතුයි. නගරයේ පන්සල් මෙන්ම ගමේ පන්සල්ද කිසි විටෙක පිරිහී යන්නට ඉඩ තැබිය යුතු නැහැ. අපගේ ආණ්ඩුව කිසිවිටෙක එවැනි කටයුත්තක් සඳහා ඉඩ තබන්නේ නැහැ.

රටක් දියුණු වෙනවා නම් පන්සලේ දායකයන්ද දියුණුවට පත්වෙනවා. එම දායකයන්ගේ මුදල් යොදා ගෙන විහාරස්ථාන දියුණු කළ හැකියි. එමෙන්ම රජය මැදිහත් වන්නේද විහාරස්ථාන දියුණු කිරීමේ කාර්යය සඳහායි. සිංහල, බෞද්ධ බහුතර ජනතාවක් සිටින ශ්‍රී ලංකාවේ විහාරස්ථාන දිවි හිමියෙන් රැකගත යුතුව තිබෙනවා.

වර්තමානයේදී ගමේ ජනතාව නගරයට සංක්‍රමණය වෙමින් සිටිනවා. ගමේ ජනතාව අඩු වන විට පන්සලේ දායක පිරිස අඩු වෙනවා. ගමේ සිට නගරයට එන ජනතාවගෙන් එක් වරම නගරයේ පන්සල්වලට ආධාර උපකාර ලැබේ යැයි සිතන්නට හැකියාවක් නැහැ. මෙම තත්ත්වය නිසා ගමටත්, ගමේ පන්සලටත් ප්‍රශ්න තිබෙනවා. මේ තත්ත්වයන් මඟහරවා ගැනීම සඳහා අපට හැකි අයුරින් ආධාර උපකාර කිරීම අපේ අරමුණයි.

ජනාධිපති අරමුදලෙන් මෙන්ම අගමැති කාර්යාලයෙන් කරන උපකාරවල අරමුණ විහාරස්ථාන ගොඩනැඟීමයි.

මෙහිදී කෙටි අනුශාසනාවක් සිදු කරමින් නුගේගොඩ නාලන්දාරාමාධිපති තිනියාවල පාලිත හිමියෝ මෙසේ පැවසූහ.

මිනිසාට සේවය කිරීමට උපන් මිනිසා මිනිසාගේ පරම මිතුරකු ලෙස ක්‍රියා කළ යුතුයි. කාමයෙන්, ද්වේශයෙන්, රාගයෙන්, ඊර්ෂ්‍යාවෙන්, වෛරයෙන් සිත අපිරිසුදු වී මෝහයෙන්, උඩඟුකමින් මුළාවී මිනිසා, මිනිසාගේම පරම හතුරෙක් බවට අද පත්ව සිටිනවා. මේ තත්ත්වය දකින්න ඇස් නැත්තේ, අහන්න කන් නැත්තේ, සිතන්න සිත් නැත්තේ සාධාරණත්වය පිළිබඳ නොසිතන නිසාය. හෘද සාක්‍ෂියට එකඟව පිළිගැනීමට නොහැකි වී තිබෙන්නේ මිනිසුන්ගේ සිත් ආගම ධර්මයෙන් හිස්වී තිබීමයි.

අන්ධකාරයෙන් අන්ධකාරයට යන මේ පොදු ජන සමාජය නිවරැදි මඟට හරවන ලොව තිබෙන එකම දර්ශනය වන්නේ ආගම දහමයි. ආගම් අතර විවිධාකාර වෙනස්කම් තිබුණද පොදු මහජන සමාජය යහපත් මඟට ගෙන ඒම එම සියලුම ආගම්වල පොදු අරමුණ වෙනවා.

පන්සල්, පල්ලි, කෝවිල් තමයි මිනිසුන් එකතු කරගන්න පුළුවන් එකම තැන. වාර්ෂිකව රුපියල් පනස්දාහ බැගින් පන්සල් සංවර්ධනය කිරීමට ලබාදීම වෙනුවට හැම වසරකම හැම මාසයකදීම සෑම පන්සලකම විදුලි බිල හෝ ජල බිල ගෙවීමේ වැඩපිළිවෙළක් සකස් කරන ලෙස යෝජනා කරනවා. ආධාර ලැබෙන විහාරස්ථානවලට ජල, විදුලිය නොමිලේ සැපයෙනවා. නමුත් ඉතා දුප්පත් කිසිම ආධාරයක් නොලැබෙන විහාරස්ථානවලට මාසයකදී ජල, විදුලි බිල්පත ගෙවීම ඉතා අපහසු කාර්යයක් වී තිබෙනවා. ඒ නිසා ආණ්ඩුවේ මැදිහත්වීමෙන් මේ පන්සල්වලට ජලය, විදුලිය නොමිලේ ලබාදීමට වැඩපිළිවෙළක් ආරම්භ කරන්නැයි ඉල්ලා සිටිනවා.

ත්‍යාගා ශ්‍රී මාලි බණ්ඩාර,
ඡායා: අනුරුද්ධ මැදවත්තේගෙදර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon