වාහනේ සුක්කානම මෛත්‍රි අතේ තිබුණට ඇක්සලේටරය තියෙන්නෙ රනිල්ගේ අතේ

  👤  4141 readers have read this article !
By mawbima 2018-05-23

දැන් වාහනේ සුක්කානම තියෙන්නේ මෛත්‍රිගෙ අතේ වුණත් බේ්‍රක් එකයි ඇක්සලේටර් එකයි තියෙන්නේ රනිල්ගෙ අතේ. හරියට මී හරකයි එළ හරකයි අෑඳුවා වගේ. දෙන්න දෙපැත්තට යන්නේ. ඉස්සරහට යන්න බෑ. හතරගාතෙන් වැටුණු ආණ්ඩුව හතර පාරක් කැබිනට් එක සංශෝධනය කළා යැයි ජවිපෙ උෟව පළාත් සභා මන්ත්‍රි සමන්ත විද්‍යාරත්න පැවැසීය.

මන්ත්‍රිවරයා එසේ පැවැසුවේ ජවිපෙ මන්ත්‍රි ප්‍රතිපාදන මඟින් බදුල්ල දිස්ක්‍රික්කය තුළ 2018 වසරේදී ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන යෝජනා සම්බන්ධයෙන් ප්‍රතිලාභී ජනතාව දැනුවත් කිරීම උදෙසා උෟව පළාත් සභා ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැති රැස්වීමකදීය.

අමාත්‍යවරයා මෙසේද කීය.

මැති ඇමැතිවරුන්ගේ ප්‍රතිපාදන මත ජනතාවට විවිධ දේ දෙනවා. විවිධ සංවර්ධන කටයුතු කෙරෙනවා. මේ ප්‍රතිපාදන මුදල් ලබාදීම ගැන ජනතාව ජනාධිපතිවරයාට අගමැතිවරයාට මැති ඇමැතිවරුන්ට ස්තුති කරනවා. උපහාර පුද කරනවා. ඒත් එය එසේ වියයුතු නෑ. මේ මුදල් කිසිම මන්ත්‍රිවරයකුගේ ඇමැතිවරයකුගේ අගමැතිවරයාගේ හෝ ජනාධිපතිවරයාගේ මුදල් නොවේ. මේ සියල්ල රටේ මහජනතාවගේ මුදල්. ජාති, ආගම්, කුලමල, පක්ෂ, පාට, ස්ත්‍රී, පුරුෂ කිසිම භේදයක් නැතිව ඔබ වැය කරන සෑම රුපියල් 100කින්ම රුපියල් 42ක් පමණ බදු වශයෙන් ආණ්ඩුවට යනවා. මේ මුදල් තමයි මේ ප්‍රතිපාදන විදියට භාණ්ඩාගාරය හරහා ආපසු ජනතාවට ලැබෙන්නේ. එසේ නම් මේ සියලු රාජ්‍ය ප්‍රතිපාදන ජනතාවගේ මුදල්.

පළාත් සභා මන්ත්‍රිවරයකුට රුපියල් ලක්ෂ 50ක් පමණ හා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුට ලක්ෂ 150ක් පමණද වශයෙන් සෑම වසරකම ලැබෙනවා. මේ මුදල්වලින් කරන වැඩවලට ස්තුතිය ලැබෙන්න ඕනෑ අපි මන්ත්‍රිවරුන් ලෙස පත් කළ ජනතාවට සහ රජයට බදු ගෙවන සියලු ජනතාවට.

නමුත් මේ වරද ඉතිහාසයේ සිටම සිදුවෙනවා. ඉතිහාසෙ සිටම මැති ඇමැතිවරු ජනතා මුදලින් තමන්ගෙ නම් ගල් පුවරුවල කොටාගත්තා. ඒත් ජනතා විමුක්ති පෙරමුණේ අපි කිසි තැනක මේක ජවිපෙ අහවල් මන්ත්‍රිතුමා කළා කියා බෝඩ් ගහන්නේ නෑ. වැඩිම වුණොත් ජවිපෙ මන්ත්‍රි ප්‍රතිපාදනවලින් කළා කියා ගහනවා.

මේ විදියට ලැබුණු රුපියල් ලක්ෂ 50ක් පමණ අද විවිධ කාර්යයන් සඳහා බෙදා දෙනවා. ඒකට අපට ස්තුතියක් ඕන නෑ. හරියට වැඩේ කෙරුණොත් ඇති. වෙන මන්ත්‍රිවරුන්ගෙ ප්‍රතිපාදවලින් වගේ වැඩේ බාගෙට කෙරෙන්න බෑ. ප්‍රමිතියකට කෙරෙන්න ඕන.

අපේ රටේ මේ වගේ මහජන මුදල් බොහෝවිට කාබාසිනියා වෙනවා. වංචා වෙනවා. මහජන මුදල් අල්ලස් ලෙස ගන්න ගිහින් ලොකු ලොකු අයත් ළඟදී අහුවුණා. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහත්තයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා නෝනාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයාගෙ කාර්ය මණ්ඩල ප්‍රධානී, අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයා පත්කරගත්ත මහ බැංකු ප්‍රධානියා මේ හැමෝම මුදල් වංචාවලට අහුවුණා. ඒ විදියට බලනවිට ලංකාවෙ ලොකුම හොරු ඉන්නේ රටේ දේශපාලන ප්‍රධානීන් ළඟයි.

මේ ජරාජීර්ණ දේශපාලන ක්‍රමය තිබියදී මේ රට හදන්න බෑ. මේක වෙනස් කරන්න ඕනෑ.

අද රනිල්ට - මෛත්‍රිට තිබෙන්නේ රටේ ප්‍රශ්න නොවේ. ඒ අය තමන්ගේ නායකකම් බේරගන්න ලොකු අර්බුදයක පැටලිලා.

තත්ත්වය වෙනස් කරන්න නම් මේ අවුරුදු 70ක දේශපාලන ගමන්මඟ වෙනස් කරන්න ඕනෑ. අපි ජනතාවගෙන් ඉල්ලන්නේ අපට බලය දෙන්න.

ඇටම්පිටිය - රත්න වීරසිංහ සහ පස්සර - කපිල ගුණවර්ධන

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon