කෘතගුණ දත් සිංහලයන් කිසිදිනෙක රණවිරුවන්ගේ පරිත්‍යාගය අමතක කළ යුතු නැහැ

  👤  3999 readers have read this article !
By mawbima 2018-05-23

ලෝකයේ රටවල් තම තමන්ගේ යුද ජයග්‍රහණ තවමත් අභිමානයෙන් සමරනවා. ඒත් කෘතගුණ දත් ජාතියක් ලෙස ශ්‍රී ලංකාව රණවිරුවන්ගේ උත්තම පරිත්‍යාගය අමතක කිරීම දේශ හිතෛශී සියලු දෙනාගේ අප්‍රසාදයට හේතුවක් යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය හිටපු ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය පාලිත කොහොන ප්‍රකාශ කළේය.

ඔහු එලෙස ප්‍රකාශ කළේ ගෝලීය ශ්‍රී ලංකා සංසදය සංවිධාන කළ යුද ජයග්‍රහණයේ 9 වැනි සංවත්සරයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමින්ය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පසුගිය 19දා එම සැමරුම් උත්සවය පැවැත්විණි. හසලක ගාමිණී කුලරත්න රණවිරුවන්ගේ මෑණියන් වන ජී. ජුලියට් මාතාව ඇතුළු විශාල පිරිසක් ද එම අවස්ථාවට එක්ව සිටියහ.

එහිදී වැඩිදුරටත් ආචාර්ය පාලිත කොහොන මහතා මෙසේ ද පැවැසීය.

බටහිර රටවල් තවමත් ඔවුන්ගේ යුද ජයග්‍රහණ උත්කර්ෂවත් ලෙස සමරනවා. රුසියාව වසර 70කට පෙර ලබා ගත් යුද ජයග්‍රහණ තවම සමරනවා. එහෙත් ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදී යුද්ධය ජයග්‍රහණය සැමරීමට පියවර ගන්නේ නැහැ. රණවිරුවන් අමතක කරදැමීම ගැන සතුටු වෙන්න දේශප්‍රේමීන්ට බැහැ.

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කළ නිසා එක්සත් ජාතීන් විවිධ චෝදනා ශ්‍රී ලංකාවට විරුද්ධව ගෙන ඒමට උත්සාහ කළත් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ලෙස මම ඒකට ඉඩ දුන්නේ නැහැ. ජර්මනිය චෝදනාවක් ගෙන ආවත් පසුව ඒක ප්‍රශංසා යෝජනාවක් ලෙස සම්මත කර ගැනීමට අපට හැකි වුණා. 2011දී කැනඩාව ප්‍රමුඛව ගෙන ආ යෝජනාව ගෙන ඒමට නොහැකි තත්ත්වයට තමා පත් කළා. අපි එලෙස කටයුතු කළත් වත්මන් ආණ්ඩුව ශ්‍රී ලංකාවට විරුද්ධව යෝජනා සම්මත කර ගන්නවා. ඒවට සම අනුග්‍රහ දෙමින් එම චෝදනා පිළිගන්නවා.

අපි තමයි ත්‍රස්තවාදී සංවිධානයක් සම්පූර්ණයෙන්ම පරාජය කළ එකම රට. බටහිර රටවල් අපට විරුද්ධ වෙන්න හේතු දෙකක් තිබුණා. එකක් ඉරිසියාව, අපේ රට පිහිටා තිබෙන ස්ථානය නිසා ඒකට ලෝකයේ අනිත් රටවල් ඇතුළු වෙන්න උත්සාහ ගන්නවා. ඒක අපේ රටට තර්ජනයක්. නොබැඳි ප්‍රතිපත්තියෙන් ඉවත්වීම අපේ රටට අයහපත් ආකාරයට බලපා තිබෙනවා.

යුද්ධය පවතින කාලය තුළ අප භාවිත කළ බොහෝ උපක්‍රම අපි අමතක කළා. යුද්ධය ජයගැනීමට වැඩිය ලබාගත් ජයග්‍රහණ රැක ගැනීම අපහසුයි. අපගේ ආරක්ෂක වළලු ලිහිල් කළා. යුද ජයග්‍රහණයෙන් පසුව නිසියාකාරව ජාත්‍යන්තරය කළමනාකරණය කිරීමට පසුගිය ආණ්ඩුව අපොහොසත් වුණා. චීනයට දැක්වූ නැඹුරුවට ඉන්දියාව අකැමැති වුණා. ඉන්දියාව හොඳින් තියා ගැනීමට හැකිවුණා නම් අපට බටහිරින් එල්ලවන තර්ජන වළක්වා ගන්නට හැකි වෙනවා. බටහිර රටවල් කොයි මොහොතෙත් අපට අකැමැත්තෙන් පසු වෙනවා.

එල්.ටී.ටී.ඊ. බලපෑම හමුවේ යුරෝපා රටවල අපට තිබුණු අනුකම්පාව අඩු වුණා. එල්.ටී.ටී.ඊ.ය ලොව වටා කරගෙන ගිය ව්‍යාපෘති එලෙසම කරගෙන ගියත් රජය මන්දෝත්සාහි වුණා. අපගේ විදේශ ප්‍රතිපත්ති නිසි ආකාරයෙන් පැවැතිය යුතු වගේම එය පරස්පර නොවිය යුතුයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය එක එක රටවලට විරුද්ධව නිරන්තරයෙන් යෝජනා ගෙන එනවා. ඒත් ඒවා ක්‍රියාත්මක වන්නේ නැහැ. විශේෂයෙන් ඇමෙරිකාවේ මිතුරකු නිසා ඊශ්‍රායලයට විරුද්ධව කිසිදු යෝජනාවක් ක්‍රියාත්මක වන්නේ නැහැ.

මානව හිමිකම් කවුන්සිලය 30/1 යෝජනාව ගෙන ආ වෙලාවේ අපේ විදේශ ඇමැතිතුමා ඒක සාදරයෙන් පිළිගෙන සම අනුග්‍රහය දක්වන්න කැමැති වුණා. එවැනි තත්ත්වයකදී වෙනත් රටවල් එම චෝදනා ගැන කියලා අපේ රට වෙනුවෙන් පෙනී සිටින්නෙ නැහැ. ඒත් අද රජයට අවශ්‍ය නම් එම එකඟතාවලින් ඉවත් විය හැකියි. ඒ සඳහා ආණ්ඩුවට පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ජනතාව විරෝධයක් පළ කළා.

ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ සභාපති සුනිල් චන්ද්‍රකුමාර මහතා

ගෝලීය ශ්‍රී ලංකා සංසදය අප රටේ ඒකීය බව වෙනුවෙන් සෑම විටම කටයුතු කරනවා.

දෙනගම ධම්මික රණවීර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon