වැස්ස මැද්දේ කළු ගල් බැඳි පිරිසුදු ජලය පිරි පොකුණක් හෙම්මාතගමින් මතුවෙලා

  👤  4076 readers have read this article !
By mawbima 2018-05-23

මාවනැල්ල - කේ.වී. බණ්ඩාර

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් හෙම්මාතගම ගම්පොළ මාර්ගයේ වත්තේකඩේ ප්‍රදේශයේ ප්‍රධාන පාර අද්දර කඳු ගැටය අස්සේ නිල් පැහැති ජලය පිරුණු දිය පොකුණක් මතුවී තිබේ. අම්බුළුවාව කඳු දෙසට පැතිර මතුවී ඇති මේ පොකුණ ගම්පොළ රාජධානියේ පෞරාණික ස්ථානයක් විය හැකි බව ප්‍රදේශවාසීන් සැක පහළ කරයි.

ඊයේ (22දා) අප එහි ගොස් එම ස්ථානය සම්බන්ධයෙන් තොරතුරු සොයන අතරවාරයේ ඒ බව ප්‍රදේශවාසීන් පවසන්නට විය. මාර්ගයේ සංවර්ධන කටයුතුවලට පාරේ ඉවුරු කපා පළල් කරන විටද මේ ස්ථානය මතුවී නොමැති අතර අයහපත් කාලගුණය සමඟ සෑම දිසාවෙන්ම බොර ජලය ගලා යන විට මේ ස්ථානයෙන් පැහැදිලි දිය පහරක් පිහිල්ලක මෙන් පාර දෙසට පතිත වී ඇත. ප්‍රදේශවාසීන් කිහිප දෙනෙක් අදාළ ස්ථානය පරීක්ෂා කරද්දී ඉවුර මැද තිබූ අඩි 4ක පමණ විශ්කම්භය ඇතුළතින් නිල් පැහැති පොකුණක් දැක ඇත. එම පොකුණ වටා කළු ගල් බැමිවලින් නිම කර ඇති අතර අඩි 8ක පමණ දුරකින් පසුව එය නැවත අම්බුළුවාව කඳු දෙසට හැරී පවතින අයුරු අපට දැක ගැනීමට හැකි විය.

එම පොකුණ පිහිටි ඉඩම පෞද්ගලික ඉඩමක් වන අතර බැලූ තෙක් මානයේ කඳු සහිත බිම පිහිටා ඇති අතර ඉස්මත්තේ පිහිටා ඇත්තේ අම්බුළුවාව කන්දයි. අදාළ ස්ථානය ප්‍රදේශවාසීන් විසින් දැන්වීමෙන් පසුව ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා පැමිණ මාවනැල්ල ප්‍රාදේශීය ලේකම්තුමිය දැනුවත් කර ඇත. මාවනැල්ල ප්‍රදේශීය ලේකම් ප්‍රියංගනී පෙතන්ගොඩ මහත්මිය අප කළ විමසුමකදී පැවැසූයේ අදාළ ස්ථානය සම්බන්ධයෙන් සොයා බැලීමට වගකිව යුතු අංශ දැනුවත් කරන බවයි. සමහර විට පෞරාණික ඓතිහාසික කරුණු සොයාගත හැකි ස්ථානයක් වීමටද ඉඩ ඇති බව ඇය අප සමඟ කීවාය.

මෙම නිල් පැහැති ජලය පිරුණු පොකුණ මුලින්ම මහ වැසි පවතින විට දැක තිබුණේ දමිළ ජාතික වත්තේකඩේ රාජේන්ද්‍රන් කුමාර් මහතා විසිනි.
21දා සවස මේ පැත්තට මහ වැස්ස. මේ පාර හදන නිසා පාරේ ඉවුරේ ගස් කඩා වැටීම් ගොඩක් සිදු වෙමින් පැවැතියා. මාත් මේ ගමේ අයට අවදානමක් ඇති වෙයිද කියන බයෙන් මේවා නිරීක්ෂණය කරමින් වත්තේකඩේ පැත්තට ගියා. ඒ යද්දී දැක්කා පාර පුරාත් ඉවුරුවලිනුත් ජල පහරවල්වලිනුත් බොර ජලය ගලා යනකොට වත්තේකඩේ මේ විශාල කඳු ප්‍රදේශයේ ඉවුරේ එක් තැනකින් පිරිසුදු දිය පහරක් පාර පැත්තට පීල්ලකින් මෙන් වැටෙනවා. ඊට පස්සේ තමයි වැස්ස පායපු ගමන් ගිහින් බැලුවේ ඇතුළ කළුවර නිසා ආලෝකයක් ගෙනත් බැලුවා. එතකොට දැක්කා පිරිසුදු ජලය තියෙන ලස්සන පොකුණක්. ඒ පොකුණේ උඩ ඇති ගල් තලාවෙන් පහතට එල්ලා වැටුණු දිය මුල් වැනි අලංකාර මුල් රාශියක් එල්ලී තිබුණා. ඒක අම්බුළුවාව කන්ද පැත්තටම තියෙනවා. ඒ නිසා මේ ස්ථානය ගැන පුරාවිද්‍යා එකෙන් හෝ වගකිව යුත්තන් පැමිණ බලලා මේක හඳුනාගත්තා නම් වටිනවා. ඒ වාගේම මේ පාර සංවර්ධනය කරද්දී මුලින්ම හමුවූ එක් ස්ථානයක්ද මේ ස්ථානය පමණයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon