කරාපිටිය රෝහලේදී නියුමෝනියාවෙන් මිය ගිය දරුවා උපතින්ම හදවත් රෝගියෙක්

  👤  3842 readers have read this article !
By mawbima 2018-05-23

ඉමදුව - ටී. විතානවසම්

ඊයේ (22දා) ගාල්ල කරාපිටිය රෝහල තුළ මියගිය දරුවා නියුමෝනියා තත්ත්වයෙන් මියගියද උප්පත්තියෙන් හෘද රෝගයක් තිබූ දරුවකු බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසයි. දරුවා මිය යෑම සම්බන්ධයෙන් මාධ්‍ය කරන ලද විමසීමේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය.

මේ දරුවා වයස අවුරුද්දකටත් වඩා අඩු දරුවෙක්. මේ කාලයේ මියයන සියලු දරුවන් හා වැඩිහිටියන් මේ රෝගී තත්ත්වයෙන් මිය ගියා කියන එක වැරැදියි. මේ රෝගී තත්ත්වය පැතිරෙන්න කලින් වුණත් කරාපිටිය, මාතර සහ අනිකුත් රෝහල්වල සාමාන්‍යයෙන් සතියකට රෝගීන් දෙතුන් දෙනෙක් මිය යනවා.

ඒ කෙසේ වුණත් පසුගිය සතියට වඩා මේ සතියේ රෝගීන්ගේ අඩුවක් ඇති බව අපිට පෙනී යනවා.

රෝගීන් 7ක් කරාපිටිය රෝහලේදී මියගොස් තිබෙනවා. ඊයේ (22දා) මියගිය දරුවා සමඟින් තමයි 8ක් වෙන්නේ. නමුත් මේ දරුවා මිය යෑම ඒක ඒ කාරණයම කියලා සනාථ කරගෙන නෑ. මියගිය අයගෙන් 90%ක් පමණම වයස අවුරුද්දකට වඩා අඩුයි. කෙසේ වුණත් අපි හිතුවේ නෑ මේ අවස්ථාවේ පාසල් වැසීමට තරම් අවශ්‍යතාවක් ඇතියි කියලා. නමුත් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය ඒක තීරණය කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් අපේ විරුද්ධත්වයක් නෑ.

ඊයේ (22දා) දිනයේදී වසංගත රෝගී අංශයේ අධ්‍යක්ෂ අනිල් දිසානායක මහතා ඇතුළු නිලධාරීන් දකුණේ රෝහල්වලට පැමිණ පරීක්ෂා කර උපදෙස් ලබා දුන්නා. මේ අයගේ සහ සියලු සෞඛ්‍ය අංශවල සහාය මත දැනට අපිට හැකියාවක් ලැබිලා තියෙනවා යම්කිසි ආකාරයකට පාලනය කරන්න. ඒ නිසා අනිසි බියක් ඇති කරගෙන ප්‍රචාර යවන්න එපා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon