වලේබොඩ විදුහල නාය යෑමේ අවදානමක

  👤  4021 readers have read this article !
By mawbima 2018-05-23

බළන්ගොඩ - නලින්ද වලේබොඩ සහ කල්තොට - එස්. වීරවංශ

බළන්ගොඩ වලේබොඩ ප්‍රදේශයට දින දෙකක් තිස්සේ ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ එගොඩ වලේබොඩ විද්‍යාලයේ ප්‍රධාන දෙමහල් ගොඩනැඟිල්ලේ බිත්ති පුපුරා පොළොව ඉරිතළා ඇති බවත් මේ හේතුවෙන් නාය යෑමේ අවදානමක් පවතින බවත් දරුවන් පාසල වෙත එවීමෙන් දරුවන්ගේ ජීවිත අනතුරට ලක් වීමේ අවදානමක් පවතින බවත් මවුපියෝ පවසති.

පවතින මේ අවදානම් තත්ත්වයත් සමඟ පෙරේදා (21දා) පාසලේ ඉගැන්වීමේ කටයුතු සිදුනොකර පාසලට පැමිණි දරුවන් ආපසු නිවෙස්වලට හරවා යැවූ බවද මවුපියෝ සඳහන් කරති. ප්‍රධාන දෙමහල් ගොඩනැඟිල්ලේ පහළ මාලයේ බිත්ති පුපුරා ඇති අතර ගොඩනැඟිල්ල ඇතුළේ භූමිය තැනින් තැන ඉරි තළා ගොස් ඇති බව මවුපියෝ කියති. ප්‍රධාන ගොඩනැඟිල්ලට පහළින් විශාල ජල පහරක් ගලා යෑම හේතුවෙන් ගොඩනැඟිල්ල නාය යෑමේ අවදානමකට ලක්වී ඇති බවද මේ හේතුවෙන් වර්ෂා දිනවලට පාසල වසා දමා අනෙකුත් දිනවලට පාසලේ ඉගෙනීමේ කටයුතු සිදු කිරීම ස්ථාවර විසඳුමක් නොවන බවද මවුපියන් පෙන්වා දෙති.

මේ පාසල මධ්‍ය අවදානම් කලාපයක පිහිටා ඇති පාසලක් බවට රත්නපුර ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය මඟින් ලිඛිතව පාසලේ විදුහල්පතිවරයා වෙත දන්වා එවා ඇත. මේ සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූ මවුපියෝ මෙසේ පැවැසූහ.

එම්.එම්. ඉන්දිකා ජයරානි (පාසල් සංවර්ධන සමිතියේ ලේකම්)

නාය යෑමේ අවදානම් කලාපයක් ලෙස අපේ මේ වලේබොඩ පාසල නම් කරලා තියෙනවා. මගේ දරුවන් දෙදෙනාම එක වසර හා හතර වසරේ ඉගෙනුම ලබන්නේ. මේ බිත්ති පුපුරා තිබෙන ගොඩනැඟිල්ලේ මිලිමීටර් 75ට වැඩිය වැස්ස තියෙන දවසට දරුවන් පාසලට එවන්න එපා කියනවා. ඉතින් මේ වලේබොඩ ප්‍රදේශයට අවුරුද්දෙන් මාස අටක් නවයක් විතර හැමදාම වහිනවා. අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ මේ නාය යන ගොඩනැඟිල්ල වෙනුවට තාවකාලික ගොඩනැඟිල්ලක් හරි ඉදි කරලා අපේ දරුවන්ට ඉගෙන ගන්න අවස්ථාව ලබා දෙන්න කියලා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon