දකුණේ උණ වසංගතය දින හතක් ඇතුළත මුළුමනින්ම තුරන් කරනවා අපට සහාය දෙන්න දකුණු පළාත් සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ඉල්ලයි

  👤  3932 readers have read this article !
By mawbima 2018-05-23

රත්ගම - ගුණපාල ඉරත්නවල්ලි

රෝගීන්ගේ සහාය මත දකුණේ මේ දිනවල වසංගතයක් ලෙස පවතින ඉන්ෆ්ලුවන්සා උණ රෝගය වළක්වා ගත හැකි බව දකුණු පළාත් සෞඛ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය විජේසූරිය මහතා ඊයේ (22දා) මාධ්‍ය හමුවේදී පැවැසීය.

වෛද්‍යවරයා එහිදී මෙසේද කීවේය.

දකුණු පළාතේ රෝහල්වල මූලික රෝගීන් 800ක් පමණ නේවාසිකව ප්‍රතිකාර ගෙන පිටව ගොස් තිබෙනවා. 400ක් පමණ දැනට රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ගන්නවා. කරාපිටිය රෝහලේදී රෝගීන් 6ක් මියගොස් තිබෙනවා.

සමහර රෝගීන් මාතර, හම්බන්තොට වැනි රෝහල්වලින් කරාපිටියට මාරු කර එවා තිබූ රෝගීන්. ඊයේ (22දා) වන විට තවත් කුඩා දරුවෙක් මියගොස් තිබෙනවා. දරුවන් මිය යෑම සාමාන්‍ය දෙයක්. මෙයට පෙර කාලවල නිව්මෝනියා තත්ත්වය නිසා දරුවන් මියගොස් තිබෙනවා. ප්‍රතිකාර ලබාදීමට රජය සියලු පහසුකම් හා උපකරණ ලබාදී තිබෙනවා. වසංගත රෝග ඒකකයේ වෛද්‍ය අනිල් දිසානායක මහතා රෝහල්වලට ගොස් දැනුවත් කිරීමේ කටයුතු සිදු කළා. දකුණේ ප්‍රධාන අමාත්‍ය ෂාන් විජේලාල් ද සිල්වා මහතා නිරන්තරයෙන් කරුණු විමසමින් රෝහල්වලට අවශ්‍ය උපකරණ, ඔෟෂධ ලබාදීමට කටයුතු කරනවා. මේ උණ රෝගය පාලනය කරන්න සෑම පියවරක්ම ගෙන දින හතක් ඇතුළත සම්පූර්ණයෙන් තුරන් කිරීමට කටයුතු කරනවා. ජනතාවගෙන් ඉල්ලා සිටිනවා අපට සහාය දෙන ලෙසට. සෙනඟ ගොඩක් ගැවසෙන ස්ථානවල ගැවසීමෙන් වළකින්න. මුඛ ආවරණ පැලඳගන්න. උණ, කැස්ස, වමනය තිබේනම් වහාම රෝහල්වලට රැගෙන එන්න. දින දෙක තුනකින් රෝගය සුව කරන්න බැහැ. දින හතක්වත් නේවාසිකව ප්‍රතිකාර ගැනීමෙන් රෝගී තත්ත්වය සුවකරගත හැකි වෙනවා.

මෙම රෝගය නිසා පාසල් වැසීම පිළිබඳ අපේ එකඟතාවක් නැහැ. පාසල් බලධාරීන් පාසල් වැසීම පිළිබඳ සෞඛ්‍යමය ප්‍රතිපත්ති තීරණයක් නැහැ. රෝගීන් බවට සැකකටයුතු දරුවන් පාසල් නොයැවීමට මවුපියන් වගබලා ගත යුතු යැයිද අධ්‍යක්‍ෂවරයා පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon