උතුරු මැද වකුගඩු රෝගීන් සඳහා මිලදී ගත් බහුකාර්ය ජල පෙරන යන්ත්‍රවලිනුත් ගසා කාලා ජනපති විමර්ශන කොමිෂන් වාර්තාවකින් හෙළි වෙයි

  👤  3944 readers have read this article !
By mawbima 2018-05-23

අනුරාධපුර - ආනන්ද කරුණාදාස

උතුරු මැද පළාතේ වකුගඩු රෝගීන් අතරේ බෙදාදීම සඳහා යැයි පවසා බහුකාර්ය ජල පෙරන යන්ත්‍ර 12,500ක් මිලදී ගැනීමේදී උතුරු මැද පළාත් සභාවේ හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය නිලධාරීන් එක්ව සිය බලය අනිසි ලෙස භාවිත කර ඇතැයි අනාවරණය වෙයි.

ඔවුන් වංචනික ලෙස තොරතුරු ඉදිරිපත් කර පෞද්ගලික සමාගමකට රුපියල් දහතුන් කෝටි හතළිස් එක් ලක්ෂ විසි දහසක මුදලක් ගෙවා මහජනයාට හානිදායක ජල පෙරන බෙදාදීමට කුමන්ත්‍රණය කර දූෂණය නමැති වරද කර ඇති බව ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව වාර්තාවකින් අනාවරණය කර තිබේ.

මේ බව හෙළිදරව් කර ඇත්තේ බරපතළ වංචා දූෂණ රාජ්‍ය සම්පත් වරප්‍රසාද බලය හා අධිකාරිය අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා වූ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව කළ විමර්ශනයකදීය.

සිද්ධියට අදාළ වගකිවයුතු පාර්ශ්වකරුවන් ලෙස නම් කර සිටිනුයේ මහජනයාට හානිදායක බහුකාර්ය ජල පෙරන මිලදී ගැනීමේ තාක්ෂණික කමිටුවේ සාමාජිකයන් ලෙස කටයුතු කළ එච්.ඒ. උපුල් සුසන්ත වික්‍රමරත්න (භූගත ජල වයඹ පළාත් ජලසම්පාදන මණ්ඩලය), ඩබ්ලිව්.එම්. ඥානා විජේසිංහ (අධ්‍යක්ෂ,ගිණුම් හා ගෙවීම උතුරු මැද පළාත් සභාවේ භාණ්ඩාගාරය), අසංක වෙනුර රණසිංහ, කේ.ටී. සුගත් නයනානන්ද (අධ්‍යක්ෂ, සංවර්ධන හා සැලසුම්), ඒ නන්දනාල් (සහකාර ලේකම් සැලසුම්), ශාන්ත දිසානායක (ප්‍රධාන අමාත්‍යාංශය), ඒ. තලාකොටුනගේ (උතුරු මැද හිටපු ප්‍රධාන ලේකම්), වෛද්‍ය ඩබ්.ඩබ්. දයානන්ද ආනන්ද කුලරත්න (එවකට උතුරු මැද ප්‍රධාන අමාත්‍යාංශයේ හිටපු ලේකම්) සහ චන්දන කුඩා බණ්ඩාර සෙනවිරත්න යන අයයි.

එමෙන්ම එච්.බී. සේමසිංහ (උතුරු මැද පළාත් සභාවේ හිටපු අමාත්‍ය), ආර්.එම්. පුංචි බණ්ඩා රත්නායක (උතුරු මැද පළාත් සභාවේ හිටපු අමාත්‍ය) කේ.එච්. නන්දසේන (උතුරු මැද පළාත් සභාවේ හිටපු අමාත්‍ය), නලීන් ගලේගොඩ (පළාත් සංවර්ධන කළමනාකරු - ජිනසේන පෞද්ගලික සමාගම) සහ ජිනසේන පෞද්ගලික සමාගමද මේ මූල්‍ය වංචාවේ පාර්ශ්වකරුවන් ලෙස නම් කරනු ලැබ ඇත.

ජනාධිපති විමර්ශන කොමිෂන් සභා විමර්ශන වාර්තාවේ තවදුරටත් මෙසේද අනාවරණය කර තිබේ.

2010 වර්ෂය තුළදී බහුකාර්ය ජල පෙරන 5000ක්ද 2011 වර්ෂය තුළදී බහුකාර්ය ජල පෙරන 2500ක්ද 2012 වර්ෂය තුළදී බහුකාර්ය ජල පෙරන 5000ක්ද උතුරු මැද පළාත් සභාවට සැපයීමේදී පෙර තීරණය කර ගත් ආකාරයට අනුව ඉදිරිපත් කර නොමැත.

එම ක්‍රියාවලියට අදාළ ටෙන්ඩර් කැඳවීම් පත්‍රයේ සහ පෙර තීරණය කරගත් ආකාරයට කොන්දේසිවල සඳහන් රසායනාගාර පහසුකම් සහ නඩත්තු කිරීමේ ප්‍රාදේශීය මධ්‍යස්ථාන පවත්වා ගෙන නොයෑමෙන් සහ නිකුත් කිරීමට පෙර සහ පසු එකඟතාව පරිදි රසායනාගාර පරීක්ෂණ කටයුතු සිදු කර නොමැත.

එම ක්‍රියාවලියට අදාළ වගකීම් කාලය වන වසර 10 ඇතුළත ඒ සම්බන්ධව එකඟතාව අනුව නිසි ලෙස නඩත්තු සහ හානි වූ බහුකාර්ය ජල පෙරන වෙනුවට නව ජල පෙරන ලබා නොදීමට කටයුතු නොකිරීම හේතුවෙන් සැපයුම් කරන ලද බහුකාර්ය ජල පෙරන යන්ත්‍රවලින් උතුරු මැද වකුගඩු රෝගීන් අපේක්ෂා කළ අයුරින් පානය කිරීමට සුදුසු ජලය ලබාදීමට උතුරු මැද පළාත් සභාව අපොහොසත් වී ඇත.

ඒ අනුව මෙම වංචනික ක්‍රියාවලියට සම්බන්ධ උතුරු මැද පළාත් සභාවේ හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය නිලධාරීන් සහ වකුගඩු රෝගීන්ට හානිදායක බහුකාර්ය ජල පෙරන සැපයූ පෞද්ගලික සමාගම අල්ලස් පනතේ 70 වැනි වගන්තියෙහි විස්තර කර ඇති දූෂණය නමැති වරද, දූෂණයට කුමන්ත්‍රණය කිරීමේ වරද,

දූෂණයට අනුබල දීමේ වරද යන මෙම වැරැදි එකක් හෝ ඊට වැඩි ගණනක් සිදු කිරීම සම්බන්ධයෙන් කරුණු හෙළිදරව් වී ඇති බව මේ කොමිෂන් සභාවේ මතය වේ.

දණ්ඩ නීති සංග්‍රහයේ 386 වගන්තිය හා 388 වගන්තිය සමඟ කියවිය යුතු පොදු දේපළ පනතේ 5 (1) වගන්තිය යටතේ වන පොදු දේපළ එනම් රජයේ මුදල් රුපියල් දහතුන් කෝටි හතළිස් එක් ලක්ෂ විසි දහසක (1,34,120,000) මුදල සම්බන්ධයෙන් සාපරාධී සාවද්‍ය පරිහරණය සහ හෝ සාපරාධී විශ්වාසය කඩ කිරීමක් සිදු කර තිබෙන බවද කොමිෂන් වාර්තාව පෙන්වා දෙයි.

මේ වැරැදි සිදුකර ඇති ඉහත පාර්ශ්වකරුවන්ට එරෙහිව සාපරාධී නීති කෘත්‍ය (නඩු පැවැරීම) ඇරැඹීම සලකා බැලීමට සහ ඔවුන්ට විරුද්ධව නියමිත අධිකරණයේ නඩු කටයුතු පැවැරීම සඳහාත් සෙසු පාර්ශ්වකරුවන්ට එරෙහිව

දූෂණය නමැති වරද සිදු කිරීම හෝ ඊට අනුබල දීමට කුමන්ත්‍රණය කිරීමේ වරද යටතේ නඩු පැවැරීම සලකා බැලීම සඳහාත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට සහ ගරු නීතිපතිතුමාට අවකාශ සලසනු පිණිස මේ පෙත්සමට අදාළ විමර්ශනයේදී සටහන් කරන ලද ප්‍රකාශ සහ පරීක්ෂණයට අදාළ සාක්ෂිද සලකුණු කරන ලද ලේඛනද ඇතුළත් ගොනු පිටපත් නීතිපතිතුමාට සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කිරීම මේ කොමිෂන් සභාවේ නිර්දේශය වේ යනුවෙන්ද එම වාර්තාව දක්වා ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon