වැලිකඩ ගැටුමෙන් රැඳවියන් 27ක් මිය යෑමේ සිද්ධිය පොලිස් පරීක්‍ෂක රංගජීව නයෝමාල්ගේ ජංගම දුරකථනය සම්බන්ධ පරීක්‍ෂණ කරනවා ඛ්ධ්ච්ය අධිකරණයේදී කියයි

  👤  3853 readers have read this article !
By mawbima 2018-05-23

කවින්ධ්‍යා පෙරේරා

2012 වසරේ නොවැම්බර් මාසයේදී වැලිකඩ බන්ධනාගාරයේ සිදුවූ ගැටුමෙන් රැඳවියන් 27 දෙනකු මිය යෑමේ සිද්ධියට අදාළව රක්‍ෂිත බන්ධනාගාරගතව සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්‍ෂක රංගජීව නයෝමාල් මහතාගේ ජංගම දුරකථනය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් චමරි වීරසූරිය මහත්මිය හමුවේ ප්‍රකාශ කර සිටියේය.

සිද්ධියට අදාළ නඩුව ඊයේ (22දා) කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් වැඩිදුර වාර්තාවක් ගොනු කරමින් ඒ බව සඳහන් කර සිටියේය.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට රක්‍ෂිත බන්ධනාගාරගතව සිටින සැකකරුවන් බන්ධනාගාර නිලධාරීන් මඟින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරීක්‍ෂක සාගර කරසිංහ මහතා පෙනී සිටි අතර සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පෙනී සිටියේය. අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ සේනක පෙරේරා මහතා ඇතුළු නීතිඥවරු පිරිසක් පෙනී සිටියහ.
ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර මහතා ඉදිරිපත් කරනු ලැබූ පසුගිය දේශනවලට අදාළ ලිඛිත දේශන අධිකරණය හමුවේ ගොනුකර සිටියේය.

එසේම අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සේනක පෙරේරා මහතා සඳහන් කර සිටියේ මෙම විමර්ශනයට අදාළ විමර්ශන නිසියාකාරව සිදු නොකළහොත් යුක්තියක් ඉටු නොවන බවත් මෙම සැකකරුවන්ට මෙම නියෝගය ලබා දුන් නිලධාරීන්ද අත්අඩංගුවට ගත යුතු බවත් ය.

එම කරුණු සැලකිල්ලට ගත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ මේ සම්බන්ධයෙන් අවශ්‍ය යුද හමුදා නිලධාරීන්ගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති බවත් නීතිපති උපදෙස් අනුව කටයුතු කරමින් සිටින බවත් මේ වන විට ගිනි අවි අත්අඩංගුවට ගෙන රස පරීක්‍ෂක වෙත යොමු කර ඇති බවත්ය.

වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් සතුව ඇති මත්ද්‍රව්‍ය, ජංගම දුරකථන හා වෙනත් නීති විරෝධී භාණ්ඩ අත්අඩංගුවට ගැනීම සඳහා 2012 නොවැම්බර් 9 දින පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් ආරක්‍ෂක නිලධාරීන්ගේ සහාය ඇතිව සෝදිසි මෙහෙයුමක් දියත් කර ඇත. සෝදිසි මෙහෙයුමක් සිදුකරන අතරතුරේදී ඊට විරුද්ධව රැඳවියන් කලහකාරී ලෙස හැසිරෙමින් දෛනික අවි නිකුත් කරන අවි ගබඩාව බිඳ අවි රැගෙන පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට වෙඩි තබමින් වැලිකඩ බන්ධනාගාර නිලධාරීන්ට පාලනය කළ නොහැකි පරිදි රැඳවියන් විසින් බන්ධනාගාර බලය සියතට ගැනීමෙන් ඇති වූ තත්ත්වය පාලනය කිරීමේදී රැ¼දවියන් ඝාතනය වීමට ලක්විය.

කලහකාරී රැඳවියන් පලා යෑම වැළැක්වීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් බන්ධානාගාරයේ වටා ආරක්‍ෂක රාජකාරියේ යෙදී සිටියදී 2012 නොවැම්බර් 9 දින රාත්‍රි 12ට පමණ වැලිකඩ බන්ධනාගාරයේ සිට පිටතට ගිනි අවි සහිතව පැමිණ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් වෙත වෙඩි තබමින් බන්ධනාගාර අධිකාරි නිල නිවාස අතරින් පැන යෑමට උත්සාහ කළ රැඳවියන් පිරිසක් වෙත පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් ප්‍රතිප්‍රහාර එල්ල කර ඇත. එසේම සිරකරුවන් බන්ධනාගාරයේ දෛනික අවි නිකුත් කරන අවි ගබඩාව ද බිඳ අවි ගෙන ආරක්‍ෂක අංශ වෙත දිගින් දිගටම කලහකාරී ලෙස කටයුතු කරන්නට විය.

එම ප්‍රතිප්‍රහාරයෙන් පලා යෑමට තැත් කළ රැඳවියන් දෙදෙනකු තුවාල ලබා ඇති අතර එම රැඳවියන් දෙදෙනා රෝහල් ගත කිරීමෙන් පසුව මිය ගොස් ඇත. සාක්කිකරුවන් ප්‍රකාශ කරන පරිදි මෙම සිද්ධියේ දී රාත්‍රි කාලයේදී යුද හමුදාව වැලිකඩ බන්ධනාගාරයට ඇතුළු වී තත්ත්වය පාලනයට ගැනීමෙන් පසු රැඳවියන් අතරින් තෝරාගත් රැඳවියන් පිරිසක් වන මාලන් නොහොත් කංකානම්ගේ මලින්ද්‍ර පැල්පොල, නිර්මාල් අතපත්තු, මොහොමඩ් විජය රෝහණ, තුෂාර චන්දන නොහොත් කළු තුෂාර, අන්ද්‍රපුලිගේ ජෝතිපාල, හර්ෂ ශ්‍රී මහ කීර්ති පෙරේරා, රයිගමගේ සුසන්ත පෙරේරා, කොණ්ඩ අමිල නොහොත් මලිත් සමීර පෙරේරා යන රැඳවියන් ඝාතනය කර ඇත.

එදින මරණයට පත් රැඳවියන් 27 දෙනා අතරින් පෙර ආකාරයේ ගිනි අවිවලින් වෙඩි තබමින් ත්‍රිරෝද රථයකින් පලා යෑමට තැත් කිරීමේදී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගේ ප්‍රතිප්‍රහාරවලින් රැඳවියන් 9ක් මරණයට පත්ව ඇත. පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට වෙඩි තබමින් බන්ධනාගාර නිල නිවාස අතරින් පලා යෑමට උත්සාහ කිරීමේදී දෙදෙනකු මියගොස් ඇත. තවත් අට දෙනකු අපරික්‍ෂාකාරී ගිනි අවි භාවිත කරමින් සිටියදී මරණයට පත්ව ඇත. එසේම තත්ත්වය පාලනය කිරීමෙන් අනතුරුව තවත් අට දෙනකු මරණයට පත්ව ඇත. එසේම මෙම තත්ත්වය පාලනය කිරීමෙන් පසුව වෙන් කර රැගෙන ගොස් වෙඩි තබා ඝාතනය කර ඇති බවට කරුණු අනාවරණය වන බව ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර තිබුණේ ඉකුත් ජනවාරි මස 30 වැනිදාය.

සියලු කරුණු සැලකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරිය මේ වන විට රක්‍ෂිත බන්ධනාගාරගතව සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්‍ෂක රංගජීව නයෝමාල් මහතා සහ බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා මහතා තවදුරටත් ලබන ජුනි 05 වැනිදා තෙක් රක්‍ෂිතබන්ධනාගාරගත කරන ලෙසට නියම කරමින් අගතියට පත් පාර්ශ්වයන් සඳහන් කරන කරුණු වලට අවධානය යොමු කර විමර්ශන සිදුකරන ලෙසට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියම කළාය.

වැලිකඩ ඝාතන සිද්ධියට සම්බන්ධ සැකකරු වන රංගජීව කොටුව මහෙස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් වූ අයුරු.

ඡායාරූපය - අකිල ජයවර්ධන

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon