ලක්ෂ 27ක රන් බඩු සිරුර තුළ සඟවා ගෙන ආ හතරදෙනා රේගු දැලේ

  👤  3845 readers have read this article !
By mawbima 2018-05-23

කටුනායක - ගයා තිරිමාදුර

තම සිරුරුවල සඟවා ගෙන නීති විරෝධී ලෙස රත්රන් තොගයක් ශ්‍රී ලංකාවට රැගෙන ආ ගුවන් මගීන් සිවු දෙනකු ඊයේ (22දා) අලුයම කටුනායක ගුවන් තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මොවුන් සිවු දෙනා ඊයේ අලුයම ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබිණි. මොවුන්ගෙන් එක් අයකු කොළඹ ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු තම සිරුරේ ගුද මාර්ගයේ ග්‍රෑම් 100 බැගින් වූ රත්රන් බිස්කට් දෙකක් සඟවා ගෙන සිටියදී රේගු භාරයට ගෙන තිබිණි.

ඊට අමතරව කොළඹ ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි සහ 39 හැවිරිදි පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට පත්වී තිබූ අතර ඔවුන් තම යට ඇඳුම් අතර රන් කැබලි තුනක් සඟවා ගෙන සිටි බවද රේගුව පවසයි

අනෙක් පුද්ගලයා 38 හැවිරිදි කෑගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු සිය කලිසම් සාක්කුවේ වූ මුදල් පසුම්බියේ රන් මාල කීපයක් සඟවා ගෙන සිට රේගු අත්අඩංගුවට පත්වී තිබිණි.

ඒ අනුව මොවුන් සිවු දෙනා නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන විත් තිබූ රත්රන් තොගයේ මුළු බර ග්‍රෑම් 450ක් පමණ වූ අතර ඒවායේ මුළු වටිනාකම රුපියල් ලක්ෂ 27ක් පමණ වන බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.

රේගු අධිකාරි ආර්.එස්.කේ. සෙනෙවිරත්න සහ සහකාර රේගු අධිකාරිවරුන් වන ආර්.ආර්.ජී.බී.සී. බණ්ඩාර, රකිත් ආරියසේන සහ බ්‍රයන් ආනට් යන මහත්වරුන් මොවුන් අත්අඩංගුවට ගැනීම සිදු කර තිබිණි.

කටුනායක ගුවන් තොටුපොළ රේගු අධ්‍යක්ෂ ඕ.එම්. ජාබීර් මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ රෝයි රණරාජා මහතා වැඩිදුරටත් පරීක්ෂණ සිදු කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon