තරග පාවා දුන්නැයි කියන ලැයිස්තුවක මගේ නම තිබුණත් ඊට මගේ කිසිම සම්බන්ධයක් නැහැ - ක්‍රිකට් සහකාර ලේකම් රවීන් වික්‍රමරත්න

  👤  3860 readers have read this article !
By mawbima 2018-05-23

විචිත්‍ර වීරසිංහ

එළැඹෙන ක්‍රිකට් නිලවරණයේද උප ලේකම් තනතුරකට තරග වදින වත්මන් ක්‍රිකට් සහකාර ලේකම් රවීන් වික්‍රමරත්න මහතාට එරෙහිව දේශීය තරග පාවාදීමේ චෝදනාවක් එල්ල වී ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වික්‍රමරත්න මහතා කියා සිටියේ ඒ පිළිබඳව ඇති කුමන ලැයිස්තුවක තමාගේ නම සටහන් වුවද තමා ඊට අදාළ කිසිදු කරුණකට සම්බන්ධ නොමැති බවය.

පසුගිය වසරේදී ජනවාරි මසදී (23 දා සිට 25 දක්වා) පානදුර ක්‍රීඩා සමාජය හා කළුතර ක්‍රීඩා සමාජය අතර පැවැති තරගයේ ප්‍රතිඵලය සැකයකට භාජන වී තිබීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පරීක්‍ෂණයක් පැවැත්වූ අතර, ඒ අනුව පානදුර ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයන් කිහිප දෙනකුටම දඬුවම් පැනවීමක්ද සිදුවිය. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුව එම දඬුවම ලිහිල් කර තිබුණද මෙම සිදුවීමට රවීන් වික්‍රමරත්න සෘජුව හෝ වක්‍රව සම්බන්ධ බවට විවිධ පාර්ශ්වයන් විසින් චෝදනා එල්ල කර තිබිණි.

"මම අවුරුදු 10ක් පමණ පානදුර ක්‍රීඩා සමාජයේ සභාපති තනතුර දැරුවා. ඒත් මම 2015 වසරේදී ඔය සියලු තනතුරුවලින් ඉවත් වුණා. අද වනතුරු මම ඒ ක්‍රීඩා සමාජයේ කිසිදු තනතුරක් දරන්නේ නැහැ. ඊට පසුව මේ තරගය සම්බන්ධයෙන් මාස 7-8ක පමණ කාලයක් පරීක්‍ෂණයක් පැවැත්වුණා. ඒ පරීක්ෂණයෙන් පසුව ක්‍රීඩා අමාත්‍යාංශයත් මාසයක පමණ කාලයක් පරීක්ෂණයක් පැවැත්වුවා. ඒ පරීක්‍ෂණ අනුව ඔවුන් (ක්‍රීඩා අමාත්‍යාංශය) නිකුත් කළ නිවේදනයක මගේ නම සඳහන් වෙලා තියෙනවා. මුලින්ම මම කියන්න ඕන මුදලට තරග පාවා දුන් බවට චෝදනා කරන ඔය තරගයවත් මම නැරඹුවේ නැහැ. මම ක්‍රිකට් විධායක කමිටු සාමාජිකයෙක්, සහකාර ලේකම්වරයෙක් ලෙස කටයුතු කරනවා. තිලංග සුමතිපාල මහතාගේ මිත්‍රයෙක්. ඒක දඩමීමා කරගෙන මට පහර ගහනවා.

මේක සංවිධානාත්මකව මට විරුද්ධව කරගෙන යන දෙයක්. ඒක නිසයි මම විධායක සභාවේ අවසරය ඇතිව මේ මාධ්‍ය හමුව පවත්වන්න තීරණය කළේ" යනුවෙන්ද පැවැසූ වික්‍රමරත්න මහතා කිසිදු අවස්ථාවක ක්‍රීඩා අමාත්‍යංශය විසින් තමාගෙන් කිසිදු ප්‍රශ්න කිරීමක් සිදුකර නැතැයිද සඳහන් කළේය.

"නිලධාරියකුට තනිවම තරගයක් පාවා දෙන්න පුළුවන්ද? මැද්දට ගිහින් ගහන්නේ ක්‍රිකට් ක්‍රීඩකයෝ. ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ උදව්වක් එන්න ඕන තරග පාවා දෙන්න. හැබැයි මේ නිවේදනයේ තියෙනවා ක්‍රිකට් ක්‍රීඩකයන් නිදහස් කරන්න, නිලධාරීන්ට දඬුවම් දෙන්න කියලා. කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයන් හා නිලධාරීන් එක්ක 30 දෙනකු පමණ ඉන්නවා. මේකේ රවීන් විතරද ඉන්නේ? මොන අදහසකින් එහෙම කියනවද කියලා මට තේරෙන්නේ නැහැ. කරුණාකර මගේ චරිතයට කැළලක් ඇති කරන්න එපා. මට පවුලක් ඉන්නවා, ළමයි ඉන්නවා, මටත් වේදනාවල් දැනෙනවා. මම ක්‍රිකට් ක්‍රීඩා කරන අවධියේදිත් බොහෝම ගෞරවයෙන් ක්‍රිකට් ක්‍රීඩා කළා. දැනුත් එහෙමයි. ඒක නිසා මගේ චරිතය ඝාතනය කරන්න එපා" යනුවෙන්ද වික්‍රමරත්න මහතා පැවැසීය.

කෙසේ වෙතත් මෙම සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනය නිසි පරිදි වාර්තාවක් ලබා දුන්නා නම් මෙවැනි ප්‍රශ්නයක් ඇති නොවන්න ඉඩ තිබුණා නේද යන පැනයට පිළිතුරු සැපයූ වික්‍රමරත්න පැවැසුවේ මෙවැන්නෙකි. "මෙහි පරීක්‍ෂණය අවුරුද්දක් විතර තිබුණා. ඒ නිසා වෙන්න ඇති ක්‍රිකට් ආයතනයට වාර්තාවක් මේ දක්වා ලබා දෙන්න බැරි වුණේ. කොහොම වුණත් ක්‍රිකට් විධායක සභාව මේ ගැන ඉදිරියේදී සොයා බලලා විසඳුමක් ලබා දේවි" යනුවෙන් පැවැසූ වික්‍රමරත්න මහතා මේ සම්බන්ධයෙන් යහපත් විසඳුමක් නොලැබුණහොත් තමන් නීතියේ පිහිට පැතීමට බලාපොරොත්තු වන බවද කීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon