වර්ෂාව නිසා එක්කෝ වැඩිවෙයි නැත්නම් අඩුවෙයි

  👤  524 readers have read this article !
By mawbima 2018-05-22

ඉමදුව - ටී. විතානවසම්, ගාල්ල - තරිඳු භාග්‍ය විජේහේවා

පවතින තත්ත්වයත් සමඟ දකුණේ මේ වන විට පවතින උණ රෝගී තත්ත්වය වැඩිවීමට මෙන්ම අඩු වීමටද අවස්ථාවක් ඇති බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසයි. ඊයේ (21දා) මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඒ මහතා මෙසේද පැවැසීය. දැනට පවතින කාලගුණ තත්ත්වය අයහපත් වීම නිසා ජනතාව ඒකරාශී වීම අඩු වෙනවා. එය විශාල වශයෙන් මේ රෝගය ව්‍යාප්ත වීම අඩු වීමට බලපානවා.

ඒ වගේම වර්ෂාව තත්ත්වය නිසා වැඩි වීමේ ඉඩකඩක් තියෙනවා. කෙසේ නමුත් ඊයේ දිනයේ දකුණේ මූලික රෝහල් 16ක දත්ත අනුව පසුගිය සතියට සාපේක්ෂ්ව රෝගීන්ගේ අඩුවක් තියෙනවා. ජනතාව දැනුවත් වීමට මාධ්‍ය මඟින් සිදු කරන ප්‍රචාරය නිසා ජනතාව තුළ තිබූ අනිසි බිය නැතිවී තිබෙනවා. ඒ වගේම යම්කිසි දරුවෙක් මේ රෝගී තත්ත්වයට ගොදුරු වෙලා සුවපත් වූයේ නම් දිනකින් දෙකකින් එම දරුවා පාසල් යවන්න මහන්සි කරන්න එපා. අවම වශයෙන් එම දරුවන් දින 10ක්වත් විවේකීව පෝෂ්‍යදායී ආහාරපාන ලබාදෙමින් තියන්න. එසේ නොමැතිව සුව වූ විගස පාසල් එවීමෙන් තවත් දරුවන්ට මෙය ආසාදනය වීමට මෙන්ම නැවත එම දරුවා අසනීප වීමට ඉඩ තිබෙනවා.

දකුණු පළාත තුළ ශීඝ්‍රයෙන් පැතිරයන වයිරස උණ රෝගය වැනි උණ රෝගීන් 400කට වැඩි සංඛ්‍යාවක් වර්තා වී ඇති බවත් මෙම වයිරසය කුඩා දරුවන්ට පමණක් ආසාදනය වන බවට මුලින් වාර්තා වී තිබුණද මේ වන විට මෙම වයිරසය වයස අවුරුදු 2ට අඩු දරුවන්ට මෙන්ම ගැබිනි මවුවරුන්ට, කිරි දෙන මවුවරුන්ට, ශ්වසන ආබාධවලින් පෙළෙන අයට හා වයස අවුරුදු 60ට වැඩි අයටද ආසාදනය විය හැකි බවද දකුණු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය පී. විජේසූරිය මහතා තවදුරටත් පවසයි.

මේ අතර ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මේ වන විට මෙම වයිරසය වැලඳුණු කුඩා දරුවන් 37 දෙනකු ප්‍රතිකාර ලබමින් සිටින බව එම රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

හුස්ම ගැනීමේ අපහසුතාව, ඇඟපතරුදාව, උගුරේ වේදනාව, සොටු දියර ගැලීම, කැස්ස, වමනය සමඟ මෙම වයිරසය සහිත උණ රෝග ලක්ෂණ වන අතර එය දකුණු පළාතෙන් ඔබ්බට වෙනත් පළාත්වලටද පැතිර යෑමේ අවදානමක් පවතින බවත් සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon