කෙසෙල්වත්තේ දිනුක නමැති පාතාලයාගේ කුඩු ජාවාරම මෙහෙය වූ දෙදෙනාත් දැලේ

  👤  651 readers have read this article !
By mawbima 2018-05-22

කොළඹ - එම්.සී. පෙරේරා

ඩුබායි රටට පලාගොස් සැඟවී සිටින කෙසෙල්වත්තේ දිනුක නමැති පාතාල සාමාජිකයාට අයත් හෙරොයින් මත්කුඩු ජාවාරම මෙහෙයවන පුද්ගලයන් දෙදෙනකු රුපියල් ලක්‍ෂ අටකට ආසන්න හෙරොයින් මත්කුඩු තොගයක් සමඟ ගොතටුව ප්‍රදේශයේදී ඊයේ (21දා) අත්අඩංගුවට ගත් බව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය කියයි.

එම පුද්ගලයන් දෙදෙනා සමඟ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් හැටක්, මත්කුඩු කිරීමට උපයෝගි කර ගන්නා විද්‍යුත් තරාදි දෙකක්, මත්කුඩු ජාවාරමෙන් උපයා ගත් බවට සැක කරන රුපියල් හතළිස් පන්දාහක මුදලක් හා මත්කුඩු ප්‍රවාහනයට යොදා ගත් ත්‍රිරෝද රථයත් පොලිසිය භාරයට ගෙන ඇත.

හෙරොයින් මත්කුඩු බෙදා හැරීමේ නිරත වෙමින් ත්‍රිරෝද රථයක් සතියකට වතාවක් ගොතටුව, කොළොන්නාව හා වැල්ලම්පිටිය ආදී ප්‍රදේශවලට පැමිණෙන බවට සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයට ලද තොරතුරක් අනුව සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

සැකකරුවන් දෙදෙනාගෙන් කළ ප්‍රශ්න කිරීමේදී ඩුබායි රටට පලාගොස් සිටින කෙසෙල්වත්ත දිනුක, නමැති පාතාල නායකයාට අයත් මත්කුඩු ඔහු විදේශ ගත වීමට පෙර සිටම බෙදා හැරීමේ කටයුතුවල නිරතව සිටි බව ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

අත්අඩංගුවට පත් වූවන් රාජගිරිය ඔබේසේකරපුර පදිංචිකරුවන්ය.

සැකකාර පුද්ගලයන් දෙදෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර ලබා ගන්නා බවද පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවැසීය.

සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ පොලිස් අධිකාරි ප්‍රියන්ත ලියනගේ, ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජානක කුමාර මහත්වරුන්ගේ උපදෙස් පරිදි පරීක්‍ෂණ සිදුකරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon