දකුණේ උණ වසංගතය සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ලේකම්වරයා වගකිව යුතුයි

  👤  555 readers have read this article !
By mawbima 2018-05-22

ජේ.ටී. ද සිල්වා

දකුණු පළාත තුළ ව්‍යාප්ත වෙමින් පවතින ශ්වසන රෝග වසංගතය, මාසයක් තිස්සේ පාලනය කරගත නොහැකි තත්ත්වයකට පත්ව ඇත්තේ, වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ තනතුරට, තාක්ෂණික දැනුමක් නොමැති අධ්‍යක්ෂවරයකු පත්කිරීම නිසා යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.

මේ වසංගත තත්ත්වය හේතුවෙන් මරණ 13කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට වාර්තා වී ඇති බවත් මියගොස් ඇති අය අතුරින් වැඩි පිරිස කුඩා ළමුන් බවත් පෙන්වා දෙන එම සංගමය, මේ තත්ත්වයට සෞඛ්‍ය අමාත්‍යාංශය හා සෞඛ්‍ය ලේකම්වරයා සම්පූර්ණයෙන්ම වගකීම භාරගත යුතුව ඇතැයි අවධාරණය කරයි.

පැතිර යන්නේ ඉන්ෆ්ලුවන්සා වෛරස තත්ත්වයක් බවට ජනමාධ්‍ය වාර්තා පළවූ බැවින් ඒ අනුව වසංගත රෝග විද්‍යා ඒකකය මඟින් වහාම ඒ පිළිබඳ නිසි උපදෙස් මහජනතාවට මෙන්ම සෞඛ්‍ය හා අධ්‍යාපන ඇතුළු අනෙකුත් බලධාරීන් වෙත ලබාදිය යුතුව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පැවැසීය.

මේ වසංගත රෝගය පාලනය කරගත නොහැකිව සෙසු ප්‍රදේශවලටත් පැතිර ගියහොත් අහිංසක දරුවන් ඇතුළු ජන ජීවිතවලට දැඩි අනතුරක් ඇතිවීම වැළැක්විය නොහැකි බව සඳහන් කළ වෛද්‍ය හරිත අලුත්ගේ, රටේ ජනතාව ගැන සිතා ඉන්ෆ්ලුවන්සා වසංගත තත්ත්වය පාලනය කිරීමට උපරිම සහයෝගය ලබාදීමට තම සංගමය තීරණය කර ඇතැයි කොළඹදී ඊයේ (21දා) පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.

අද වන විට පත්ව ඇති අවාසනාවන්ත තත්ත්වය පිළිබඳ නිවැරැදි කරුණු තාක්ෂණික පසුබිමක් සහිතව මාධ්‍ය වෙත ප්‍රකාශ කිරීමට වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂවරයා අපොහොසත් වීම බරපතළ අවාසනාවක් යැයිද තොරතුරු ලබාදිය යුතු අය මුනිවත රකිද්දී, නොයකුත් මිථ්‍යා මත මෙන්ම වැරැදි තොරතුරු සමාජ ගතවීම නොවැළැක්විය හැකි යැයිද වෛද්‍ය හරිත අලුත්ගේ පැවැසීය.

වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ තනතුරට තාක්ෂණික දැනුමත් ඇති වෛද්‍යවරයකු පත් කරන ලෙසට තම සංගමය අවස්ථා කීපයකදීම සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලීම් කර ඇතත් එම ඉල්ලීම්වලට සෞඛ්‍ය ලේකම්වරයා ඇහුම්කන් නොදුන් බව වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කළේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයට අයත් ශාඛා සංගමය මඟින් මෙම පත් කිරීමට එරෙහිව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇතැයිද ඒ අනුව තාක්ෂණික දැනුමක් නොමැති අධ්‍යක්ෂවරයාගේ තාක්ෂණික ලිපි පිළිපැදීම ශාඛා සංගමයේ වෛද්‍යවරු විසින් ප්‍රතික්ෂේප කර ඇතැයිද වෛද්‍ය හරිත අලුත්ගේ පැවැසීය.

රෝගය ව්‍යාප්ත වන ප්‍රධාන මධ්‍යස්ථානයක් බවට පාසල් පද්ධතිය පත්ව ඇතැයිද ඒ අනුව මේ මොහොතේ අධ්‍යාපන බලධාරීන් වෙත මෙන්ම මවුපියන් වෙතද විශාල වගකීමක් ඇතැයිද පෙන්වා දෙන වෛද්‍ය හරිත අලුත්ගේ මවුපියන් ලෙස රෝග ලක්ෂණ සහිත සිසුන් පාසල් වෙත නොයැවීමට වගබලා ගත යුතුව ඇතැයි පෙන්වා දුන්නේය.

පාසල් බලධාරීන් විසින් අදාළ සිසුන් සිටී නම් හඳුනාගෙන ඒ අයව මවුපියන් දැනුවත් කර පාසලෙන් බැහැර කිරීමට කටයුතු කළ යුතුව ඇතැයි සඳහන් කරන වෛද්‍ය හරිත අලුත්ගේ මෙහිදී දිවා සුරැකුම් මධ්‍යස්ථාන, පෙර පාසල්, අමතර පන්ති මෙන්ම දහම් පාසල් වැනි ළමුන්ගේ අධ්‍යාපනයට සම්බන්ධ අනෙකුත් ව්‍යුහයන් කෙරෙහිද අවධානය යොමු විය යුතුව ඇතැයිද පෙන්වා දුන්නේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon