සයිටම් සිසුන් කොතලාවලට ඇතුළත් කිරීමේ කැබිනට් පත්‍රිකාවෙන් වෛද්‍ය අධ්‍යාපනය අනතුරේ

  👤  584 readers have read this article !
By mawbima 2018-05-22

හර්ෂනී අර්සකුලරත්න

ආරක්ෂක අමාත්‍යාංශය, සයිටම් ආයතනයේ සිසුන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට ඇතුළත් කිරීමට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවේ මෙරට වෛද්‍ය අධ්‍යාපනය හා ජනතාවගේ ජීවිත පවා අනතුරේ හෙළන යෝජනා අන්තර්ගත වන බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම නිසා මේ විනාශකාරී යෝජනා ඉවත් කරගන්නා ලෙස සිය සංගමය ආණ්ඩුවට බල කරන බවද ඔවුහු පවසති.

සයිටම් සිසුන් සඳහා සාධාරණ විසඳුමක් දියයුතුව තිබුණද එම විසඳුම හරහා ජන ජීවිත අනාරක්ෂිත නොකළ යුතු බවද, සමස්ත අධ්‍යාපන පද්ධතියම කඩා වැටීමට ඉඩ දිය යුතු නැති බවද එම සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර පවසයි.

රෝගී ජීවිතවල ආරක්ෂාව වෙනුවෙන් පිහිටුවා ඇති ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඉදිරිපත් කර ඇති නිර්දේශ තුට්ටුවකට හෝ මායිම් නොකොට ඉදිරිපත් කර ඇති මේ යෝජනා ක්‍රියාත්මක වීම, මෙතෙක් කල් අප රට සෞඛ්‍යමය වශයෙන් ලබා ඇති ප්‍රගතියද ආපසු හැරවීමක් ලෙස සඳහන් කරයි.

මේ යෝජනා හරහා උසස් පෙළ ජීව විද්‍යා විෂය ධාරාවෙන් විෂයන් 03ක් සමත් වූ අයකුට පවා වෛද්‍ය උපාධිය ලබාගත හැකි බවද ඒ අනුව අවම ඇතුළත් වීමේ සුදුසුකමවත් නැති සිසුන්ට වෛද්‍ය උපාධිය ලබා ගැනීමට ඉඩ වෙන් වී ඇතැයිද හෙතෙම පැවැසීය.

වෛද්‍ය සභාවෙත්, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා පත්කළ ආචාර්ය හර්ෂ ද සිල්වා කමිටු වාර්තාවෙනුත් තහවුරු වී ඇත්තේ එහි සායනික පුහුණුවේ ඇති දුර්වලතා හා ප්‍රමාණවත් ඇගයීම් සිදු නොවීම බවද ඔහු පැවැසීය.

වෛද්‍ය සභාවේ මාර්ගෝපදේශය සහිතව එම සිසුන්ට අමතර පුහුණුවක් හා ඇගයීම් සිදුකළ යුතු වුවද එවැනි කිසිවක් නොමැතිව වෛද්‍ය උපාධිය ලබාදීමට සැරසීම හාස්‍යජනක කරුණක් බවද ඔහු ප්‍රකාශ කළේය.

මෙහි බරපතළම කාරණය වන්නේ අහිතකර යෝජනා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මඟින් අනුමත කරවා ශේ‍ර්ෂ්ඨාධිකරණයට විසඳුමක් ලෙස ඉදිරිපත් කිරීමේ උත්සාහයක් පැවැතීම යැයිද එවිට උපරිමාධිකරණයෙන් අනුමත වූ විසඳුමක් ලෙස මේ යෝජනා ඉදිරිපත් වනු ඇතැයිද හෙතෙම සඳහන් කරයි.

මේ යෝජනා හරහා සයිටම් අර්බුදය අර්බුදයෙන් අර්බුදයට ගමන් කරනු විනා විසඳුමක් නොලැබෙන බවද ඔහු ප්‍රකාශ කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon