සයිටම් පිළිබඳ කැබිනට් පත්‍රිකාව තරයේ හෙළා දකිනවා

  👤  535 readers have read this article !
By mawbima 2018-05-22

හර්ෂනී අර්සකුලරත්න

උසස් පෙළ ජීව විද්‍යා විෂයයන් තුනක් සමත් සිසුන් කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයට ඇතුළත් කිරීම, සයිටම් ආයතනයේ පුහුණුව හා විභාග සම්පූර්ණ කළ සිසුන්ට සයිටම් කේ.ඩී.යූ. උපාධිය ලබාදීම වැනි කරුණු සහිතව ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාව තරයේ හෙළා දකින බව වෛද්‍ය පීඨ ආචාර්ය සමිති සම්මේලනය පවසයි.

ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතීන් මේ මඟින් දැඩිව උල්ලංඝනය වන බවත් සුදුසුකම් රහිත සිසුන් කොතලාවල විශ්වවිද්‍යාලයට ඇතුළත් කිරීමට දරන උත්සාහය සමස්ත උසස් අධ්‍යාපන පද්ධතියටම තර්ජනයක් බවත් එම සම්මේලනයේ කැඳවුම්කරු වෛද්‍ය මනුජ් සී. වීරසිංහ මහතා සඳහන් කරයි.

වෛද්‍ය සභාව කළ විශේෂ ඇගැයීමකට අනුව වෛද්‍ය අධ්‍යාපනයට ඇතුළත්වීමේ අවම සුදුසුකම රාජ්‍ය වෛද්‍ය පීඨවලට ඇතුළත් අවසාන සිසුවාගේ සුදුසුකම්වලට සමානුපාතික විය යුතුය යන තීරණය වන බවද 2015 වසරේදී අවම සුදුසුකම 'බී' සාමාර්ථ තුනක්ව පැවැති බවද එම සංගම් පැහැදිලි කළේය.

එසේම ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සහ ජනාධිපතිවරයා පත්කළ ආචාර්ය හර්ෂ ද සිල්වාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුව හඳුනාගත් සහ ලේඛන ගතකර ඇති පරිදි සයිටම් ආයතනයෙන් උපාධිය ගත් බව පවසන සිසුන් අවශ්‍ය පරිදි පුහුණුව හා ප්‍රමාණවත් ඇගැයීම් කර නොමැත.

2017 වර්ෂයේදී ආණ්ඩුව පවා එම සිසුන්ගේ පුහුණුව හා ඇගැයීම් පිළිබඳ ගැටලු පවතින බවත් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ අමතර පුහුණුවක් හා ඇගැයීම් කළයුතු බවත් පැවැසූ බවද ඔහු ප්‍රකාශ කළේය.

වෛද්‍ය සභාවේ නිර්දේශ සහ ආණ්ඩුවම පත් කළ කමිටුවේ තීරණ ඉතා ඉක්මනින් වෙනස් කිරීම පිළිබඳව විමතියට පත්වන බවත් 'සී' සාමාර්ථ 02ක් සහ 'එස්' සාමාර්ථ 01ක් ලෙස අවම ඇතුළත් වීමේ සුදුසුකම්වත් රහිත ප්‍රමාණවත් පුහුණුවක් හා ඇගැයීම් සිදුකර නැති සයිටම් සිසුන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට ඇතුළත් කිරීමට සිය විරෝධය පළ කරන බවත් වෛද්‍යවරයා පැවැසුවේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon