රටේ සංහිඳියාව ගොඩනඟන්න දැඩි කැපකිරීමක් කරනවා

  👤  646 readers have read this article !
By mawbima 2018-05-22

පහන් විජේසේකර

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රමුඛව වත්මන් රජය රට තුළ සංහිඳියාව ගොඩනැඟීම සඳහා සීමාව ඉක්මවා ගිය දැඩි කැපකිරීමක් සිදු කරමින් සිටින බව කැලණිය රජමහ විහාරාධිපති පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත ස්වාමින් වහන්සේ පවසති.

විරුද්ධ මත සහ විරුද්ධ ක්‍රියාකාරකම් ඉවසමින් දැඩි සංයමයකින් යුතුව සංහිඳියාවේ නාමයෙන් කරන එම කැප කිරීමට සමාජයෙන් යම් වටිනාකමක් හිමි වූවාද යන්න සියලු දෙනා හෘද සාක්‍ෂියෙන් විමසිය යුතු යැයිද උන්වහන්සේ සඳහන් කරති.

දකුණේ ඡන්ද පදනමද පටුකොට ගනිමින්, ජනාධිපතිතුමා මේ වෙනුවෙන් ඉටු කරන්නේ පහසු කාර්යයක් නොවන අතර ඒ පිළිබඳ නිසි අවබෝධයකින් යුතුව කැපවීමෙන් සහ අවංක හිතෛෂීභාවයෙන් ඒ වටා ඒකරාශී වැන්නැයි සමස්ත මහා සංඝරත්නය වෙනුවෙන් තමන් නැවතත් මේ රටේ සියලු පාර්ශ්වවලට ආරාධනා කරන බවද උන්වහන්සේ සඳහන් කළහ.

සංහිඳියාව වෙනුවෙන් වූ වගකීම එක් පාර්ශ්වයකට පමණක් ඉටු කළ නොහැකි අතර ඒ සඳහා සියලු පාර්ශ්වයන් එක්වීමේ වැදගත්කම අවධාරණය කළ උන්වහන්සේ සාමයෙන්, සංහිඳියාවෙන් සහ සහෝදරත්වයෙන් යුතු අනාගතයක් රටට උදාකර දීම වෙනුවෙන් තම වගකීම් ඉටු කිරීමට සියලු පුරවැසියන්ද එක්විය යුතු බව අවධාරණය කළහ.

රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් සිහිපත් කරමින් ජාතික රණවිරු සැමරුමට සමගාමීව විශේෂ පහන් පූජාවක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 19 වැනිදා රාත්‍රියේ ඓතිහාසික කැලණිය රජමහ විහාරස්ථානයේදී පැවැත්වුණු අතර එහි විශේෂ අනුශාසනාව සිදු කරමින් උන්වහන්සේ මෙම අදහස් පළ කළහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon