තව වැස්සොත් ලොකු විපතක්

  👤  4077 readers have read this article !
By mawbima 2018-05-22

ඉෂාරා සිල්වා, චාමර අමරසූරිය, වීහේණ අනුරාධ,
වැලිගෙපළ - මැණිකේ කොළොම්බුගම, කිරම _ ධනුෂ්ක,
ඉමදුව - ටී. විතානවසම්, හලාවත _ ප්‍රසාද් පූර්ණමාල්,
වඩුමුන්නේගෙදර _ තිළිණි පවිත්‍රා,
වටවල - සී.ඩී.එච්. හේවගේ,
මාතර _ උදය කුමාර රණවීර

දිවයිනේ දිස්ත්‍රික්ක 12කට බලපා තිබෙන අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ ඇති වූ ආපදා හේතුවෙන් පුද්ගලයන් 7 දෙනකු මියගොස් තවත් 1,024 දෙනකු අවතැන් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටින්නේ පවුල් 3,438කට අයත් පුද්ගලයන් 13,314ක් පීඩාවට පත්ව ඇති අතර නිවාස හානි 172ක් වාර්තා වී ඇති බවයි.

මේ අතර, පවතින අධික වර්ෂාවත් සමඟ නිල්වලා, කළු, ගිං, කැලණි සහ බෙන්තර යන ගංඟා සහ අත්තනගලු ඔය හා මා ඔය, මහා ගංවතුරක මට්ටමට දක්වා ළඟා වී ඇති බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

කළු ගඟේ රත්නපුර දිස්ත්‍රික්කය ආශ්‍රිතව පවතින ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන් සුළු ගංවතුර තත්ත්වයක් ඇති වී තිබෙන අතර කැලණි ගඟේ ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන් කොළඹ, කැලණිය, කොළොන්නාව, බියගම, කඩුවෙල, හංවැල්ල, ‍ෙදාම්පෙ, රුවන්වැල්ල, දෙහිඕවිට සහ දැරණියගල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ගංවතුර අවදානමක් මතුව තිබේ.

නිල්වලා ගඟ පිටබැද්දර හා උෟරව ප්‍රදේශවලදී සුළු ගංවතුර මට්ටමක පවතින අතර අකුරැස්ස, පානදුගම ප්‍රදේශවල ජල මට්ටම මහා ගංවතුරක් දක්වා වර්ධනය වෙමින් පවතින බවත් ගිං ගඟේ තවලම ප්‍රදේශයේ ජල මට්ටම අඩුවෙමින් පැවතියද බද්දේගම ආශ්‍රිත පහළ ගංගාධාර ප්‍රදේශයේ ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් පවතින බවත් වාරි මාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අධික ලෙස ඇදහැලෙන වැසි සමඟ කළු ගඟේ ජලමට්ටම ඉහළ ගොස් ඇති බවත්, මිල්ලකන්ද ජල මාපකය අනුව අවදානම් මට්ටමේ පවතින බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.

ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් කුකුළේ ගඟ ජලාශයේ වාන්‍ෙදාරටු 3ක් මේ වනවිට විවෘත කර තිබෙන අතර මේ හේතුවෙන් කළුතර _ බුලත්සිංහල ඇතුළු ප්‍රදේශ කිහිපයක පහත්බිම් ජලයෙන් යට වී ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

මේ අතර මධ්‍යම කඳුකරයට ඇදහැලෙන වර්ෂාපතනයත් සමඟ කොත්මලේ ජලාශයේ වාන්‍ෙදාරටු 04ක්, ලක්ෂපාන ජලාශයේ වාන් ‍ෙදාරටු 02ක්, දැදුරු ඔය ජලාශයේ සහ උඩවලව ජලාශයේ වාන් ‍ෙදාරටු එක බැගිනුත් විවෘත කර තිබේ. එමෙන්ම පොල්ගොල්ල ජලාශයේ වාන් ‍ෙදාරටු 7ක්ද මේ වනවිට විවෘත කර ඇත.

කලා ඔයේ ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන් පුත්තලම _ මන්නාරම මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී ඇති අතර පුත්තලම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසා සිටියේ මෙම මාර්ගයේ එළුවන්කුලම ප්‍රදේශය අඩි දෙකහමාරක් පමණ ජලයෙන් යට වී ඇති බවයි.

අධික වර්ෂාව හේතුවෙන් කළුතර, පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට නාය යෑමේ රතු නිවේදනයක් නිකුත් කර ඇති අතර ජනතාව අවදානම් සහිත ස්ථානවලින් ඉවත් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දුන්නේය.

රත්නපුර, කළුතර, ගාල්ල, නුවරඑළිය සහ මහනුවර යන දිස්ත්‍රික්ක සඳහාද නාය යෑම් අනතුරු නිවේදන නිකුත් කර ඇති අතර නාය යෑම් ලක්ෂණ පෙන්නුම් කළ ස්ථානවලින් ජනතාව ඉවත් කර තිබේ.

කෙසේ නමුත් ඉදිරි පැය කිහිපය තුළ මිලිමීටර 150කට අධික වර්ෂාපතනයක් ඇදහැලුණොත් අදාළ දිස්ත්‍රික්කවල නාය යෑම් අවදානම් සහ පස් කඳු කඩා වැටීම් සිදුවිය හැකි බවට ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය සඳහන් කරයි.

අධික වර්ෂාවත් සමඟ හැටන් ගිනිගත්හේන මාර්ගයේ සුළු නායයෑමේ තත්ත්වයක් ඇතිවී තිබෙන අතර, ඒ හේතුවෙන් ගමනාගමනයටද බාධා එල්ල වී තිබේ. අවිස්සාවේල්ල පත්බේරිය ප්‍රදේශයේද පස් කඳු කඩාවැටී ඇතැයි වාර්තාවේ.

මේ අතර අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා, අයහපත් කාලගුණ තත්ත්වයක් පවතින ප්‍රදේශවල පාසල් පැවැත්වීම හෝ නොපැවැත්වීම සම්බන්ධයෙන් තීරණය කිරීමේ බලය පළාත් හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට හා විදුහල්පතිවරුන්ට පවරා ඇත.

ඒ අනුව, සබරගමු පළාතේ රත්නපුර, නිවිතිගල සහ දෙහිඕවිට අධ්‍යාපන කලාපවල සියලුම පාසල්වලට අද (22දා) දින නිවාඩු ලබාදී තිබේ.

මීට අමතරව මාතර - අකුරැස්ස, පානදුගම සහ අතුරලිය ප්‍රදේශවලද පාසල් කිහිපයක් ඊයේ (21දා) වසා දැමුණේ අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙනි.

මේ අතර, බුලත්කොහුපිටිය උඳුගොඩ ප්‍රදේශයේදී නිවෙසක් මතට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් පුද්ගලයකු මියගොස් ඇති අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කර සිටියේ ආපදා අනතුරු හේතුවෙන් සිල් මාතාවක් ඇතුළු පුද්ගලයන් 7 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

අවිස්සාවේල්ල, කෑගල්ල ප්‍රධාන මාර්ගයේ තල්දූව ප්‍රදේශය ජලයෙන් යටවීම නිසා රථවාහන ධාවනයට බාධා ඇතිවී තිබෙන අතර ඇල්පිටිය අලුත්ගම මාර්ගය මිරිස්වත්ත ප්‍රදේශයේදී ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමන කටයුතු අඩාල වී තිබේ.

පවතින අධික වර්ෂාවත් සමඟ මහනුවර - යාපනය ඒ-9 මාර්ගය අලවතුගොඩ -8 කණුව ප්‍රදේශයෙන් ගිලාබැසීම හේතුවෙන් එම ස්ථානයේ වාහන ගමනාගමනය එක් මංතීරුවකට පමණක් සීමා කර ඇත.

කැලණි ගඟේ ප්‍රධාන අතු ගංගාවක් වන සීතාවක ගඟ පිටාර ගැලීම හේතුකොටගෙන තල්දූව නගරය යටවීමත් සමඟ හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු මුළුමනින්ම ඇනහිට තිබේ.

මේ අතර මවුස්සාකැලේ ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා යන මසකෙළිඔය පිටාර ගැලීමෙන් නිවාස නවයක් ජලයෙන් යටවී ඇති බව මස්කෙළිය පොලිසිය කියයි. අවතැන් වූ පවුල් නවයකට අයත් සාමාජිකයන් තාවකාලිකව ගවරවිල දෙමළ මහ විද්‍යාලයට යොමුකළ බව මස්කෙළිය පොලිසිය කියයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ පවතින අධික වැසි සහිත තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බවයි. එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ ගංගා ආශි්‍රත පහත් බිම්වල වෙසෙන ජනතාව මේ සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසයි.

මේ අතර ගත වූ පැය 24 තුළ ලංකාවේ වැඩිම වර්ෂාපතනය වාර්තා වී ඇත්තේ පුත්තලම දිස්ත්‍රික්කයෙන් වන අතර, එය මිලිමීටර් 353.8ක් ලෙස සඳහන් වේ.

කඳුකරයට ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් සාමිමලේ හින්දු කෝවිලට ජලය ගලායෑමත් සමඟ කෝවිලේ ආගමික කටයුතු නතර කර දැමීමට එහි පූජකවරුන් පියවර ගෙන ඇත.

ගාල්ල දිස්ත්‍රික්කයට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 44කට අයත් පුද්ගලයන් 185 දෙනකු පීඩාවට පත්ව ඇති අතර, පූර්ණ නිවාස හානි 02ක් සහ අර්ධ නිවාස හානි 72ක් වාර්තා වේ.

පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාම සේවා වසම් 12ක පවුල් 160කට අයත් පුද්ගලයන් 600 දෙනකු නිවාසවල කොටු වී සිටින බවද, පන්නල ප්‍රාදේශීය ලේකම් සමන්ත වික්‍රමරත්න බණ්ඩාර මහතා පැවැසීය.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසා සිටින්නේ තව දුරටත් මිලිමීටර් 150ක පමණ වර්ෂාවක් ඇති විය හැකි බැවින් ජලාශ හා කඳු ආශි්‍රතව ජීවත් වන ජනතාව ඒ පිළිබඳව අවධානයෙන් සිටිය යුතු බවයි. එසේම ගංවතුර නැරඹීමට යෑමෙන් වළකින ලෙසද එම මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙයි.

කැලණි ගඟේ ජල මට්ටම ක්‍රමයෙන් ඉහළ යමින් පවතින හෙයින් ඒ ආසන්නයේ වෙසෙන ජනතාවට ආරක්ෂිත ස්ථාන කරා ගමන් කරන්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටී.

එම මධ්‍යස්ථානය කියා සිටින්නේ වැසි තත්ත්වය අඛණ්ඩව පැවැතියහොත් කැලණි ගඟ පිටාර ගැලීමේ අවදානමක් ඇතිවිය හැකි හෙයින් ඒ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙස ජනතාවගෙන් අයැද සිටින බවයි.

මහවැලි ගඟ සහ මහ ඔය ගලා යන ඇතැම් ප්‍රදේශවල ජල මට්ටම ඉහළ යමින් පවතින හෙයින් ජනතාව වඩාත් අවධානයෙන් කටයුතු කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටී.

මහවැලි ගඟ පේරාදෙණිය ප්‍රදේශයෙන් සහ මහඔය ගිරිඋල්ල ප්‍රදේශයෙන් පිටාර මට්ටමට ළඟා වීමේ අනතුරක් උද්ගතව ඇති නිසා ඒ අවට වෙසෙන ජනතාව වඩාත් අවධානයෙන් කටයුතු කරන ලෙසද එම මධ්‍යස්ථානය ඉල්ලා සිටී.

ත්‍රිවිධ හමුදාවේ 2000කට ආසන්න භට පිරිස් සීරුවෙන්

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ඇතිවිය හැකි ආපදා තත්ත්වයන්ට මුහුණදීම සඳහා ත්‍රිවිධ හමුදාවේ 2000කට ආසන්න භට පිරිසක් සීරුවෙන් තබා ඇතැයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බි්‍රගේඩියර් සුමිත් අතපත්තු මහතා "මව්බිම"ට පැවැසීය.

ශ්‍රී ලංකා යුද හමුදාවේ 1000කට අධික භට පිරිසක්ද, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 700කට ආසන්න භට පිරිසක්ද, ශ්‍රී ලංකා නාවික හමුදාවේ 300කට ආසන්න භට පිරිසක්ද මෙලෙස සූදානම් කර ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ගංවතුර තත්ත්වයක් ඇතිවුවහොත් ජීවිත බේරා ගැනීමේ මෙහෙයුම්වලට රත්මලාන, කොළඹ, කටුනායක, වීරවිල, කොග්ගල සහ වීරගම යන කඳවුරුවල හෙලිකොප්ටර් යානාද සූදානම් කර ඇති බව ගුවන් හමුදාව පවසයි.

ඊයේ (21දා) වනවිට පාලින්දනුවර, බුලත්සිංහ, නෙළුව, තවලම, හිනිදුම, මොරවක, කඹුරුපිටිය යන ප්‍රදේශවල බෝට්ටු ඇතුළු යුද හමුදා සෙබළුන් 125 දෙනකු ස්ථාන ගත කර ඇතැයිද බි්‍රගේඩියර් සුමිත් අතපත්තු මහතා කියා සිටී.

හොරණ ප්‍රදේශයට හමුදා ට්‍රක් රථ 3ක්ද යොදවා ඇත.

රත්නපුර, කළුතර, මාතර, ගාල්ල යන දිස්ත්‍රික්වල හඳුනාගත් ස්ථාන සඳහා ඩිංගි බෝට්ටු 25ක් සහිතව නාවික හමුදා සෙබළුන් 100කට ආසන්න සංඛ්‍යාවක් ඊයේ වනවිට යොදවා තිබිණි.

ආපදා තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා පොලිසියද සීරුවෙන් තබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

සෑම පොලිස් කොට්ඨාසයකම ආපදා මෙහෙයුම් මැදිරියක් බැගින් ස්ථාපිත කරන ලෙසටත්, ආපදාවන්ට ලක්වන පුද්ගලයන්ගේ ජීවිත හා දේපළ බේරා ගැනීම සඳහා තම උපරිම ශක්තිය හා බලය යොදවන ලෙසටත්, පොලිස්පතිවරයා සෑම නිලධාරියකුටම දැනුම් දී ඇත.

විශේෂයෙන්ම මේ වනවිට පොලිස් ජීවිතාරක්ෂක සේවයේ පොලිස් නිලධාරීන් 210ක සංඛ්‍යාවක් කණ්ඩායම් 44ක් වශයෙන් ආපදා තත්ත්වයන් වැඩි වශයෙන් සිදුවිය හැකි හඳුනාගත් පොලිස් කොට්ඨාස කිහිපයකටම යොමුකර ඇති අතර ඔවුන් සමඟ විවිධ වර්ගයේ යාත්‍රා 40ක්ද එම ප්‍රදේශවලට යොමුකර ඇත.

තවද ආපදා තත්ත්වයන් ඇතිවිය හැකි ප්‍රදේශවල පොලිස්් ස්ථානවලටද මේ වනවිට යාත්‍රා ලබා දීමට කටයුතු කර ඇති අතර පොලිස් නාවික කොට්ඨාසයේ නිලධාරීන්ද හදිසි අවස්ථා තත්ත්වයකදී යොමුවීමට සූදානමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon