ගම්පොළ ආපදා රැසක්

  👤  3946 readers have read this article !
By mawbima 2018-05-22

ගම්පොළ - මාධව බණ්ඩාර

දින දෙකක් පුරා නොකඩවා ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව සමඟ ගම්පොළ ප්‍රදේශයේ ආපදා රැසක් සිදුව තිබේ.

ගම්පොළ - නුවරඑළිය මාර්ගයේ දැල්පිටිය ප්‍රදේශයේ නවතා තිබූ වෑන් රථයක් අසලින් පස් කන්දක් නාය යෑම නිසා එම වෑන් රථය නුවරඑළිය මාර්ගයට පෙරළී තිබිණි. එම මාර්ගයේම සැන්තුවාර් ප්‍රදේශයේ පස් කන්දක් නාය යෑම නිසා ඒ.ජී. චන්ද්‍රපාල යන අයගේ නිවෙස ඉරිතළා දැඩි අවදානම් තත්ත්වයකට පත්ව තිබේ.

ගම්පොළ - නුවරඑළිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේදී තම නිවෙස අසල කන්ද කපා දැමීම නිසා මෙම අවදානම මතුව ඇති බව පවසන චන්ද්‍රපාල මහතා කොන්ක්‍රීට් බැම්මක් ඉදිකර දෙන බව පැවැසුවද වසර 10ක් ගතවීත් එම පොරොන්දුව ඉටු නොවුණු බවද පවසයි.

ගම්පොළ - නාවලපිටිය මාර්ගයේ ඇත්ගාල ප්‍රදේශයේදී මාර්ගයට ගසක් කඩා වැටීමෙන් වාහන ධාවනයට බාධා ඇති වූ අතර ගම්පොළ ‍ෙදාළොස්බාගේ මාර්ගය මේරිවිල හන්දියෙන් පෙරවරුවේ වසා දැමීමට සිදුවූයේ උණ පඳුරක් සමඟ පස් කන්දක් මාර්ගයට වැටීම නිසාවෙනි.

කහටපිටිය, බැබිල ප්‍රදේශයේ සිදුවූ ජල ගැල්මෙන් නිවාස කිහිපයක් යට වූ අතර මේ ප්‍රදේශයේ ජල බස්නා කානු අවහිර කර නිවාස ඉදිකිරීම නිසා මේ තත්ත්වය මතුව ඇති බව උඩ පළාත ප්‍රාදේශීය ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය සඳහන් කළාය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon