ශ්‍රී ලනිපය එක්ක අපි එකතු වෙන්නේ නෑ

  👤  4109 readers have read this article !
By mawbima 2018-05-22

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමඟ සන්ධාන ගතවීමට තම පක්‍ෂයට කිසිදු වුවමනාවක් නැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් පැවැසීය.

අනාගතයේ පැවැත්වෙන සියලුම මැතිවරණ සඳහා ඉදිරිපත් වන්නේ ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන සියලු පක්‍ෂ සමඟ එක්ව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලාංඡනය යටතේ බවද ඒ මහතා අවධාරණය කළේය.

ඊයේ (21දා) බත්තරමුල්ල, නෙලුම් මාවතේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් මෙසේද කීය.

මේ ආණ්ඩුවේ ක්‍රියාකලාපය නිසා ජනතාව අද පීඩාවට පත්වෙලා සිටින්නේ. ජනතාව පීඩාවට පත් කරන මෙම ක්‍රියාකලාපයට විරුද්ධව ජුනි මාසයේ මුල සිට දැවැන්ත විරෝධතා මාලාවක් ඒකාබද්ධ විපක්‍ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව පැවැත්වීමට නියමිතයි. අපි මේ විරෝධතා මාලාව පවත්වන්නේ ආණ්ඩුවට සහ ආණ්ඩුවට සම්බන්ධ සියලු පාර්ශ්වවලට විරුද්ධවයි. අපි එජාපයට පමණක් සම්පූර්ණ වරද පටවන්න සූදානම් නැහැ. මේ සිදුවන හැම ක්‍රියාවකටම ශ්‍රී ලනිපයත් සම්බන්ධයි. මේ ආණ්ඩුව කඩිනමින් මහ මැතිවරණයක් පවත්වා ජනතාවට තමන් කැමැති ආණ්ඩුවක් පත්කර ගැනීමට අවස්ථාව ලබාදිය යුතුයි.

පසුගිය දිනෙක ශ්‍රී ලනිපයේ මධ්‍යම කාරක සභාව රැස්වුණා. නමුත් තවමත් මේ ආණ්ඩුවෙන් ඉවත් වෙනවාද නැද්ද යන තීරණය ශ්‍රී ලනිපය අරගෙන නැහැ. මේ ආණ්ඩුවේ හැම කටයුත්තක්ම කරන්නේ ශ්‍රී ලනිපය හරහා. හම්බන්තොට වරාය විකිණීමේදී අදාළ ගිවිසුම අස්සන් කිරීම අර්ජුන රණතුංග මහතා ප්‍රතික්ෂේප කළා වගේම වරාය විකිණීමට ඔහු විරුද්ධ වුණා. ඒ නිසා කැබිනට් සංශෝධනයක් කියලා ඇස් බැන්දුමක් කරලා වරාය හා නාවික කටයුතු ඇමැතිවරයා ලෙස මහින්ද සමරසිංහ මහතාව පත් කළා. හම්බන්තොට වරාය විකුණා දැමීමේ ගිවිසුම අස්සන් කිරීම කළේ ඔහු විසින්. ඒ නිසා තමයි අපි කියන්නේ ජාතික සම්පත් විකුණා දැමීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු ශ්‍රී ලනිපයට නි‍ෙදාස් විය නොහැකියි.

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂය විශ්වාසභංගයක් ගෙන ආ අවස්ථාවේදී එය ව්‍යර්ථ කර දැම්මේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයයි.

ශ්‍රී ලනිපයේ ප්‍රතිපත්තිය කුමක්ද? ඔවුන් සම්පූර්ණයෙන්ම සිදු කරන්නේ එජාපයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමයි.

ආණ්ඩුවේ පාර්ශ්වයෙන් දිගින් දිගටම ඉදිරිපත් කරන තර්කය තමයි එක්කාසු නොවුණහොත් ජයග්‍රහණය කරන්න බැහැ කියන එක. මෙය සම්පූර්ණයෙන්ම පුහු තර්කයක්. එය පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් හොඳින්ම ඔප්පු වුණා. අපේ පක්‍ෂයේ අනන්‍යතාව සුරක්‍ෂිත කරගනිමින් ඉදිරියට ගමන් කිරීම තමයි අපගේ ප්‍රතිපත්තිය. එජාප විරෝධී වැඩකටයුතුවලට ශ්‍රී ලනිපය සමඟ සන්ධාන ගතවීමෙන් ශක්තියක් ලැබෙනවා යැයි කවුරුන් හෝ පවසනවානම් එය සම්පූර්ණයෙන්ම මිථ්‍යාවක්.

ඉෂාරා සිල්වා
ඡායාරූප: උදේශ් රණසිංහ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon