සෑම විසඳුමකටම විරුද්ධ නොවී සයිටම් දරුවන්ට සෙත සලසමු විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය අරුණ කුමාර

  👤  3894 readers have read this article !
By mawbima 2018-05-22

හර්ෂනී අර්සකුලරත්න

සයිටම් සම්බන්ධ ගැටලුව අර්බුදයක් දක්වා වර්ධනය වෙමින් එහි සිසුන් සඳහා ගෙන එන සෑම විසඳුමකටම විරුද්ධ වන පිරිසක්ද සිටින බවත් මේ මොහොතේ සයිටම් දරුවන්ගේ මානුෂීය තත්ත්වය පිළිබඳ සලකා බලා ඔවුන්ට සාධාරණයක් ඉටු කළ යුතු බවත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය අරුණ කුමාර 'මව්බිම'ට පැවැසීය.

එම දරුවන්ට සයිටම් කේ.ඩී.යූ. උපාධිය පිරිනැමීමේ වරදක් තමා නොදකින බවත් එම දරුවන් එවකට ලියාපදිංචි පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක ඉගෙනීම කළ සිසුන් පිරිසක් හෙයින් අවුරුදු 7ක් 8ක් ඉක්ම ගිය පසුත් ඔවුන්ට උපාධියක් හිමි නොවන තැනකට වැඩකටයුතු සිදු වන්නේ නම් එම තරුණ ජීවිතවල වගකීම දරන්නට කවුරුන් ඉදිරිපත් වෙනවාද යන්න තමා ප්‍රශ්න කරන බවත් මහාචාර්යවරයා පැවැසුවේය.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මෙරට සියලුම විශ්වවිද්‍යාලවල ඉන්ජිනේරු ඇතුළු සියලු පාඨමාලා සඳහා හඳුනාගෙන ඇති අවම සුදුසුකම එස් සාමාර්ථ 3ක් බවත් ඉන් පරිබාහිරව යමින් මේ පාඨමාලාව සඳහා වෙනමම සුදුසුකම් සෙවීම පරිබාහිරව සාකච්ඡාවට බඳුන් කළ යුතු බවත් හෙතෙම පැවැසීය.

එස් සාමාර්ථ තුනක් හෝ රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීමේ සුදුසුකම් සහිතව මේ සිසුන් කොතලාවල ආරක්‍ෂක විද්‍යා පීඨයට ඇතුළත් කිරීමට මේ මොහොතේ ගෙන ඇති විසඳුම යම් මට්ටමකට පිළිගත හැකි හෙයින් මේ මොහොතේ පමණක් විවිධ ගැටලු මතුකරමින් තාක්‍ෂණික බාධාවක් බවට එය පත්කර නොගෙන කටයුතු කිරීම නීතියට වඩා මානුෂිකත්වය විදහා දක්වන්නක් බවද ඔහු පැවැසුවේය.

නමුදු මේ ඉදිරියේ බඳවා ගැනීම්වලදී මේ මොහොතේ බඳවා ගැනීම පූර්වාදර්ශයක් කරගත යුතුය යන මතයේ තමා නොසිටින බවද එය සංවාදශීලී එකඟතාවකින් තීරණය කළ යුතු බවද මහාචාර්යවරයා පැවැසුවේය.

මේ මොහොතේ රජය දී ඇති විසඳුමට විරුද්ධ වන අය තාර්කික හා ප්‍රාගුණ්‍යයෙන් ඉහළ යෝජනා ඊට ඉදිරිපත් කළ යුතුව ඇති බවද ජනප්‍රිය රැල්ලෙන් බැහැරව එක පාඨමාලාවක් ලෙස එය තෝරා ගනිමින් පවතින රැල්ලට අනුව සයිටම් සිසුන්ට විරුද්ධව නැඟී සිටීමට තමා විරෝධය පළ කරන බවද ඔහු ප්‍රකාශ කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon