ග්‍රාම නිලධාරි පුරප්පාඩු සඳහා බඳවා ගැනීම් නුදුරේදීම සිදු කෙරෙනවා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය

  👤  4133 readers have read this article !
By mawbima 2018-05-22

ආරියරත්න ගනේගොඩ

රට පුරා ග්‍රාම නිලධාරි පුරප්පාඩු සඳහා නිලධාරීන් බඳවා ගැනීම ඉදිරි සති කිහිපය තුළදී සිදුකෙරෙන බව ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ ග්‍රාම නිලධාරි තනතුර සඳහා අයැදුම් කරන ලද වැඩි පිරිසක් කාන්තාවන් වීම හේතුවෙන් පත් කිරීමේදී කාන්තා හා පිරිමි දෙපාර්ශ්වය 50%-50% වශයෙන් බඳවා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඉල්ලා සිටියද අමාත්‍ය මණ්ඩලය එය ප්‍රතික්ෂේප කර ඇති බවයි.

ඒ අනුව ස්ත්‍රී - පුරුෂ භේදයකින් තොරව සුදුසුකම් සම්පූර්ණ කිරීම් මත බඳවා ගැනීම් සිදු කිරීමට තීරණය කර ඇතැයි පෙන්වා දෙන අමාත්‍යාංශය, කාන්තාවන් වැඩි වශයෙන් බඳවා ගැනීමට සිදුවීමෙන් බඳවාගැනීම් ප්‍රමාදවන්නේ යැයි ඇතැමුන් සිදුකරනු ප්‍රකාශ අසත්‍ය බවද පවසයි.

අමාත්‍යාංශය සඳහන් කරන්නේ ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීම සඳහා 2016 සැප්තැම්බර් මස 9 වැනිදා පැවැති තරග විභාගයෙන් සම්මුඛ පරීක්ෂණ සඳහා සුදුසුකම් සම්පූර්ණ කරන ලද 3,568 දෙනකුගේ ප්‍රතිඵල 2017 ජූලි මස 26 වැනිදා නිකුත් කළ බවයි.

ඒ අනුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25කදී සම්මුඛ පරීක්ෂණ 2017 ඔක්තෝබර් 23 වැනිදා සිට නොවැම්බර් 21 වැනිදා දක්වා පැවැති අතර ඒවායේ ලකුණු 2018 පෙබරවාරි මස 16 වැනිදා විභාග දෙපාර්තමේන්තුව වෙත නැවත යොමු කරන ලද බවත් එහිදී විභාග දෙපාර්තමේන්තුව විසින් ලිඛිත පරීක්ෂණයේ හා සම්මුඛ පරීක්ෂණයේ ලකුණු එකතු කර සුදුසුකම් සම්පූර්ණ කළ 1739 දෙනකුගේ තොරතුරු මාර්තු මස 23 වැනිදා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට භාරදී ඇති බවත් පුරප්පාඩු පිරවීම සඳහා ඔවුන්ගේ පත්වීම් ලබාදීමේ කටයුතු මේ වනවිටත් අවසන් කරමින් පවතින බවත් සඳහන් කරයි.

රටේ ග්‍රාම නිලධාරි වසම් 14,022ක් අතුරින් වසම් 2,000කට ආසන්න ප්‍රමාණයක මේ වන විට ග්‍රාම නිලධාරි ධුර පුරප්පාඩු වී ඇති බැවින් ආසන්න වසම්වල නිලධාරීන් අදාළ වසම්වල රාජකාරි කටයුතු ආවරණය කරනු ලබන බව වාර්තා වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon