රජයේ සහනාධාර පොහොර අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙස නම් කිරීමට රජය තීරණය කළා

  👤  3855 readers have read this article !
By mawbima 2018-05-22

ත්‍යාගා ශ්‍රී මාලි බණ්ඩාර

රජයේ පොහොර සහනාධාරය යටතේ ලබාදෙන ඍජු පොහොර අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙස නම් කිරීමට රජය තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කරයි.

මේ වන විට අතුරු බෝග සඳහා රජයෙන් නියම කර ඇති පොහොර මිලට වඩා වැඩි මිලට වෙළෙඳපොළේ පොහොර අලෙවි කෙරෙන බවට තොරතුරු වාර්තා වන බවත් එයට පිළියම් වශයෙන් ඍජු පොහොර අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙස නම් කිරීමට රජය තීරණය කළ බවත් හෙතෙම පවසයි.

ඒ අනුව ඊට අදාළ ගැසට් පත්‍රය මේ සතියේදී නිකුත් කරන බව පැවැසූ අමාත්‍යවරයා යම් කිසිවකු රජයෙන් නියම කරන ලද රුපියල් 1,500ක පොහොර මිටිය ඊට වඩා වැඩි මිලකට ගොවියා වෙත අලෙවි කරයි නම් එවැනි අලෙවිකරුවන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවත් සඳහන් කළේය.
එසේම වැඩි මිලකට පොහොර මිටියක් අලෙවි කරන පොහොර නියෝජිත ධුරය පවා අහෝසි කිරීමට පොහොර සමාගම් වෙත තමන් මේ වන විට උපදෙස් ලබා දී තිබෙන බවත් මේ ගැසට් පත්‍රයට අනුව ඉදිරියේදී ඍජු පොහොර රුපියල් 1,500ක් වූ මිලෙන් බැහැරව විකිණීම සම්පූර්ණයෙන්ම තහනම් බවත් එසේ අලෙවි කිරීමක් සිදු වේ නම් ඒ පිළිබඳව වහාම කෘෂිකර්ම අමාත්‍යාංශයට සහ පාරිභෝගික අධිකාරිය වෙත දැනුම් දෙන ලෙසත් අමාත්‍යවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

අමාත්‍යවරයා මේ ඉල්ලීම සිදු කළේ ඊයේ (21දා) කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පොහොර අත්‍යවශ්‍ය භාණ්ඩයක් කිරීම සම්බන්ධයෙන් පැවැති මාධ්‍ය හමුවේදීය.

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ ඉදිරියේදී මිශ්‍ර පොහොර විකිණීමේදී ඒ සඳහාත් යම් ස්ථාවර මිලක් හඳුන්වා දීමට පියවර ගන්නා බවයි.

මේ වන විට ජාත්‍යන්තර වෙළෙඳපොළේ පොහොර මිල රුපියල් 4,000-3,000ක් අතර මිලකට අලෙවි වන අවස්ථාවක වුවද ජනතාවට රුපියල් 500කට සහ රුපියල් 1,500කට වූ සහන මිලකට පොහොර ලබාදීමට රජය පියවර ගෙන තිබෙන බවත් මේ වන විට ඒ සඳහා රුපියල් මිලියන 33,000ක මුදලක් වෙන්කර තිබෙන බවත් එම මුදල් ප්‍රමාණවත් නොවුණහොත් තවත් මුදල් ඒ සඳහා යෙදවීමට රජය සූදානම් බවත් එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon