බස්නාහිර පළාත තුළ සිදුවිය හැකි හදිසි ආපදාවන්ට මුහුණදීම සඳහා විශේෂ වැඩපිළිවෙළක්

  👤  3907 readers have read this article !
By mawbima 2018-05-22

කුමුදු උපුල් ශාන්ත

වර්තමානයේ සිදුව ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බස්නාහිර පළාත තුළ සිදුවිය හැකි හදිසි ආපදා තත්ත්වයන්ට මුහුණදීම සඳහා බස්නාහිර ආණ්ඩුකාර ආචාර්ය හේමකුමාර නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.

බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් ආණ්ඩුකාර කාර්යාලයේ ඊයේ (21දා) පැවැති සාකච්ඡාවකින් පසු මෙම විශේෂ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට තීරණය ගෙන තිබේ.

ඒ අනුව පැය 24 පුරා ක්‍රියාත්මක කෙරෙන විශේෂ ආපදා තොරතුරු ඒකකයක් පවත්වාගෙන යෑමටද එහිදී තීරණයක් ගෙන ඇති අතර ආපදා තත්ත්වයන් පහව යන තෙක් එම ඒකකය ක්‍රියාත්මක කර තැබීමටද තීරණය කර තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හා වාරිමාර්ග දෙපාර්තමේන්තුව සමඟ ඍජු සබඳතා මධ්‍යයේ පවත්වාගෙන යන මෙම ඒකකයට ලැබෙන සියලු තොරතුරුවලට අනුව ආපදාවලට ලක්වන බස්නාහිර පළාතේ සියලු ජනතාවට කඩිනමින් සහන සැලසීම මෙම වැඩපිළිවෙළේ ප්‍රමුඛතම කාර්ය වී තිබේ.

ඒ අනුව ආපදාවන්ට ලක්වන පුද්ගලයන්ට අවශ්‍ය නවාතැන් පහසුකම්, ගිලන් රථ, බෝට්ටු, අත්‍යවශ්‍ය ආහාර හා වෛද්‍ය පහසුකම් ඇතුළු කාර්යයන් ඉටු කිරීමට අවශ්‍ය සැලසුමක්ද සකස් කිරීමට තීරණය වී ඇති අතර අවශ්‍ය වුවහොත් ආරක්ෂක හමුදාවන්හි සහාය ලබා ගැනීමටද තීරණය කර තිබේ.

මෙම වැඩපිළිවෙළට සමගාමීව ආපදාවන්ට ලක්වන බස්නාහිර පළාතේ පුද්ගලයන් හමුවීමට යෑමටද බස්නාහිර ආණ්ඩුකාරවරයා හා ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළු මන්ත්‍රිවරුන් තීරණයක් ගෙන ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon