ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම පිළිබඳව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් නාට්‍ය මාලාවක්

  👤  3856 readers have read this article !
By mawbima 2018-05-22

උදයන්ති මුණසිංහ

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව එක්ව, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ මෙරට ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම පිළිබඳව වාර්තා නාට්‍ය මාලාවක් නිෂ්පාදනය කොට තිබේ.

මෙය එළිදැක්වීමේ උළෙල එළැඹෙන 24දා සවස 3.00ට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය සංවර්ධන මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්වෙන බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ එම්.ජී. ජයතිස්ස සඳහන් කරයි.

වාර්තා නාට්‍ය 10කින් සමන්විත වන මෙම නාට්‍ය මාලාව ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීම, තොරතුරු දැනගැනීමේ අයිතිය සහතික කිරීම, අතුරුදන් වූවන්ගේ කාර්යාලය, මාධ්‍ය නිදහස යථාර්ථයක් බවට පත් කිරීම, ස්වාධීන කොමිෂන් සභා පිහිටුවා බලාත්මක කිරීම වැනි තේමා යටතේ රජය විසින් සිදු කරන විවිධ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ කටයුතු හරහා ජනතාව වෙත ඍජු හා වක්‍රාකාරයෙන් ලැබෙන ප්‍රතිලාභ මෙමඟින් අවධාරණය කර තිබෙන බව හෙතෙම පවසයි.

2015 ජනවාරි 8 දින දේශපාලන වශයෙන් මෙරට ඇති වූ පිබිදීමත් සමඟ ජනතාව අපේක්ෂා කළ අර්ථාන්විත වෙනස යථාර්ථයක් බවට පත් කිරීම සඳහා හඳුන්වාදුන් ප්‍රතිසංස්කරණ හා කොමිෂන් සභා ස්ථාපනය කොට බලාත්මක කිරීම සුවිශේෂ ජයග්‍රහණයක් බවත් මේ වන විට ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරමින් ව්‍යුහාත්මක හා පැහැදිලි වර්ධනීය බවක් ස්ථාපිත වී ඇතත් එහි පරම අයිතිය ජනතාවට භුක්ති විඳීමට හා ප්‍රතිලාභ ලැබීමට නම් ඒ පිළිබඳ ජනතාව මනා ලෙස දැනුවත් විය යුතු බවත් එහි එක් පියවරක් ලෙස මෙම නාට්‍ය මාලාව නිෂ්පාදනය කළ බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම වාර්තා නාට්‍ය රංග බණ්ඩාරනායක, සංතුස ලියනගේ, සුසිරන් ද සිල්වා, නලින් මාපිටිය, මොහෙන්ජී රංගනාථ, දුමින්ද විදානගමච්චගේ, සුලෝචන වීරසිංහ, සුගත් බණ්ඩාර, අතුල පීරිස්, රවී අබේවික්‍රම යන ප්‍රවීණ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරුන් විසින් නිර්මාණය කොට තිබේ.

 

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon