විදුලි මාෆියාව නොරොච්චෝලේ වැසියන්ගේත්-පරිසරයේත් මරණ වරෙන්තුව ලියමින් ඉන්නවා

  👤  3862 readers have read this article !
By mawbima 2018-05-22

ඕස්ට්‍රේලියාවේ ඉඩම් ගන්න විදුලි මාෆියාව නොරොච්චෝලේ වැසියන්ගේත්, පරිසරයේත් මරණ වරෙන්තුව ලියමින් ඉන්නවායි නොරොච්චෝලේ පරිසර විනාශය ගැන මානව හිමිකම් කේන්ද්‍රයේ කීර්ති තෙන්නකෝන් මහතා පැවැසීය.

නොරොච්චෝලේ පටන් ගත්තේ අඩියෙන් අඩිය හමුදාව දාලා මළ මිනියක් හා තුවාලකරුවන් ඉස්පිරිතාලවල පුරවලා. අදත් මෙතැන් පොලිස් ඔත්තුකරුවෝ දුසිමක් විතර ඉන්නවා. පොලිස් රාජ්‍යයක්, නාවික හමුදා රාජ්‍යයක් එක්ක නොරොච්චෝලේ බලාගාරය අද ලංකාවේ විශාලම පරිසර විනාශ කරනවා. පරිසර බලපත්‍රයක් නැතිව බලාගාරයක් කරනවා. ජන ජීවිතය විනාශයෙන් විනාශයට ගෙන ගොස් තිබෙනවා. දැන් තවත් ගල්අඟුරු විදුලි බලාගාරයක් හදන්න යෝජනා කරනවා. විදුලි මාෆියාවට අවශ්‍ය 'ජනතාවගේ මිනී මතින්, විදුලි ඒකකයකින් රු. 10 බැගින් හොරකම් කරලා හරි ඕස්ට්‍රේලියාවේ - එංගලන්තයේ දේපළ ගැනීම මිසක් රට දිනවීම නොවේ' යැයිද තෙන්නකෝන් මහතා පැවැසීය.

නොරොච්චෝලේ විදුලි බලාගාරය අසල ප්‍රදේශවාසී ජනතාව සමඟ පැවැති සාකච්ඡාවකදී කතා කළ මානව හිමිකම් කේන්ද්‍රයේ අධ්‍යක්‍ෂ කීර්ති තෙන්නකෝන් මහතා මෙසේද කීය.

''නොරොච්චෝලේ වැසියන්ට නොමිලේ විදුලිය දෙනවා කිව්වා. කෘෂිකර්මාන්තයට අඩු මුදලට විදුලිය දෙනවා කිව්වා. ඒ කිසිවක් ලැබුණේ නැතත් දැන් මාස 10ක්ම දුම, අඟුරු, හා විස දිනපතා නිකුත් කරනවා. කිසිදු පරිසර ආරක්ෂණයක් නෑ. අද ගල්අඟුරු ගොඩට බවුසර්වලින් වතුර ගහනවා. මෙච්චර කල් කළේ මහමුහුදට අළු හලපු එක. තත්ත්වයෙන් බාල ගල්අඟුරු ගෙනැල්ලා, දැන් සිමෙන්ති හදන්නවත් මේ අළු ගන්නේ නෑ.

විදුලි මාෆියාව ලංකාවේ දූෂිතම රාජ්‍ය ව්‍යාපාරයයි. ජනාධිපතිගේ පක්‍ෂයේ විදුලි අමාත්‍යාංශය තියෙනවා. පරිසර අමාත්‍යාංශය තියෙන්නේ ජනාධිපතිතුමා යටතේ. ලංකාවේ හැම දූෂණයක් ගැනම කතා කරන ජනාධිපතිවරයා හා විදුලිබල ඇමැතිවරු විදුලිබල මණ්ඩලයේ දූෂණ ගැන කතා කරන්නේ නෑ. රු. 18ට සූර්ය බලශක්තිය මිලදී ගන්නේ නැති විදුලිබල මණ්ඩලය රු. 28ට ඩීසල් මාෆියාවෙන් විදුලිය මිලදී ගන්නවා. දේශපාලනඥයන් ඡන්ද කරන්නේත් දූෂිත ලේකම්වරු, සාමාන්‍යාධිකාරිවරු, ප්‍රකෝටිපතියන් බවට පත් කරන්න විදුලි මාෆියාව කටයුතු කරනවා'' යැයිද පැවැසීය.

ජනතාවගේ ඉල්ලීම මත පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාද පසුව මෙම ස්ථානයට පැමිණියේය.

''පසුගිය සමයේ නොරොච්චෝලේ පරිසර ප්‍රශ්නයන්ට ලබාදුන් විසඳුම් කිසිවක් මේ වනවිට ක්‍රියාත්මක නොවන බව තමාද පිළිගන්නා බව ප්‍රකාශ කළ රාජ්‍ය අමාත්‍යවරයා එම අවස්ථාවේ විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් සුරේන් බටගොඩ මහතාට දුරකථනයෙන් කතාකොට මෙම ප්‍රශ්නය විසඳීම සඳහා ජනතාව සමඟ සාකච්ඡා කර ක්‍රියාමාර්ගයක් ගැනීම අත්‍යවශ්‍ය බවද පැවැසීය. ඒ අනුව මැයි 31 දින නොරොච්චෝලේදී ප්‍රදේශවාසීන්ගේ ද සහභාගීත්වයෙන් සියලු පාර්ශ්වයන් සමඟ එක්වී සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය විය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon