දුරකථන සිම්පත් මඟින් මුදල් වංචා කළ පුද්ගලයා සොයා පොලිස් පරීක්ෂණ

  👤  3844 readers have read this article !
By mawbima 2018-05-22

කුමුදු උපුල් ශාන්ත

කැමරාවක් මිලදී ගැනීම සඳහා පුද්ගලයකු විසින් ලබාදුන් ජාතික හැඳුනුම්පත් ඡායා පිටපතක් දුරකථන සමාගමකට ඉදිරිපත් කර ඒ අනුව ලබාගත් සිම්පත් කීපයක් උපයෝගි කරගෙන මුදල් වංචාවක නිරත වූ පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇති බව මිරිහාන පොලිසිය පවසයි.

පොලිසිය ඒ බව කියා සිටියේ නුගේගොඩ ප්‍රධාන මහෙස්ත්‍රාත් වයි.ආර්.බී. නෙළුම්දෙණිය මහතා වෙත 'බී' වාර්තාවක් මඟින් කරුණු දක්වමිනි.
බිබිල මැදගම ප්‍රදේශයේ පදිංචි කේ.එම්. අරුණ දුෂාන්ත චාමර නමැති අයකු මිරිහාන පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන සිදු කෙරෙන අතර සිද්ධියට සම්බන්ධ සැකකරුවා අත්අඩංගුවට ගැනීම සඳහා දුරකථන වාර්තා කැඳවන ලෙසටද පොලිසියට අධිකරණයෙන් නියම කෙරිණි.

සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් පොලිසිය අධිකරණය හමුවේ පවසා ඇත්තේ කැමරා විකුණන බවට පසුගිය දිනක අන්තර්ජාලයේ දැන්වීමක් පළවී තිබී ඇති බවත් ඒ අනුව එය මිලදී ගැනීම සඳහා ඉහත කී පැමිණිලිකරුවා එම දැන්වීමේ සඳහන් අංකයට දුරකථන ඇමැතුමක් ලබාදී ඇති බවත්ය.

එකී දුරකථන ඇමැතුමට ප්‍රතිචාර ලබාදී ඇති කිසියම් පුද්ගලයකු එම කැමරාව මිලදී ගැනීමට අවශ්‍ය නම් ඊට පෙර ජාතික හැඳුනුම්පතේ ඡායා පිටපතක් එවන ලෙස ඉහත කී පැමිණිලිකරුට දැන්වීමෙන් පසුව ඔහු එම ඡායා පිටපත අන්තර්ජාලය හරහා දැන්වීම් පළ කළ පුද්ගලයා වෙත යවා ඇති බවද පොලිසිය පවසයි.

පැමිණිලිකරු විසින් එසේ යවන ලද හැඳුනුම්පතේ ඡායා පිටපත උපයෝගි කරගෙන ඉහත කී දැන්වීම් පළ කළ නාඳුනන පුද්ගලයා කිසියම් පුද්ගලයන්ගෙන් වංචා සහගතව මුදල් ලබාගෙන ඇති බවට තොරතුරු අනාවරණය වන බවද පොලිසිය පවසයි.

මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා බම්බලපිටිය පොලිසිය පැමිණිලිකරු පොලිසිය වෙත ගෙන්වාගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී ඔහු මුහුණ දී තිබෙන එකී සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට ප්‍රකාශයක් ලබාදී ඒ සම්බන්ධයෙන් මිරිහාන පොලිසිය වෙත පැමිණිල්ලක් දමා ඇති බවද පැවැසූ මිරිහාන පොලිසිය අධිකරණය හමුවේ වැඩිදුරටත් පවසා සිටියේ මෙම පැමිණිලිකරු කැමරාවක් මිලදී ගැනීම සඳහා ඉල්ලුම් කළද එය ලබාගෙන නොමැති බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon