නිධානයකින් ගත් බව කියන රන් බුද්ධ ප්‍රතිමාව විකිණීමට යද්දී ඇල්ලූ සිවු දෙනා 24දා තෙක් රිමාන්ඩ්

  👤  3850 readers have read this article !
By mawbima 2018-05-22

අනුරාධපුර - මහේෂ් විජේසූරිය

නිධානයකින් ලබාගත් බව කියන රන් පැහැයෙන් යුතු බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් පොලිස් උපාය දූතයන් පිරිසකට ලක්ෂ දහයකට අලෙවි කිරීමට උත්සාහ කළ හා ඊට ආධාර අනුබල දුන් පුද්ගලයන් සිවුදෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 24දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු කේ.පී. ශානක හර්ෂණ මහතා ඊයේ (21දා) නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කළේ නොච්චියාගම නිකවැව පදිංචි දිසානායක මුදියන්සේලාගේ ජයසුන්දර, ගල්වඩුවාගම සිවලාකුලම පදිංචි ජයසුන්දර මුදියන්සේලාගේ කුමාරසිරි, කපුරුබණ්ඩාගේ කපිලරත්න හා අඹගහවැව, කහටගස්දිගිලිය ලිපිනයේ පදිංචි පියසේනගේ සමන්ත පුෂ්පකුමාර යන සැකකරුවන්ය.

සැකකරුවන් සිවුදෙනා අධිකරණයට ඉදිරිපත් කළ කහටගස්දිගිලිය පොලිසියේ නඩු මෙහෙයුම් අංශය කියා සිටියේ කහටගස්දිගිලිය, අඹගහවැව ප්‍රදේශයේ පිහිටි නිවෙසක නිධානයකින් ලබාගත් රන් පැහැයෙන් යුතු බුදු පිළිමයක් තිබෙන බවට පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු පැමිණිල්ලක් මත එහි ගොස් නිවෙස පරීක්ෂාවට ලක්කළ බවයි.

නිවෙස පරීක්ෂාවට ලක්කළත් එවැනි බුද්ධ ප්‍රතිමාවක් හමුනොවූ බවත් එම නිවෙසේ සිටි තරුණයාගේ මුදල් පසුම්බිය පරීක්ෂා කළ අවස්ථාවේ සමාධි මුද්‍රාවෙන් යුතු බුද්ධ ප්‍රතිමාවක ඡායාරූප දෙකක් හමුවූ බවත් ඔහුගේ ජංගම දුරකථනයෙත් එවැනිම ඡායාරූපයක් තිබුණු බවත් පොලිසිය අධිකරණයට දැන්වූයේය.

සැකකාර තරුණයාගෙන් එම ඡායාරූපයන් ඔහුට හමුවූ ආකාර පිළිබඳව විමසූ අවස්ථාවේ ගල්වඩුවාගම සිවලාකුලම පදිංචි සැකකරුවන් දෙදෙනා පිළිමය නිධානයකින් ලැබුණු බව පවසමින් එය විකුණා දෙන ලෙස දන්වමින් ඡායාරූප තමන්ට ලබාදුන් බව ඔහු පැවැසුවේ යැයි පොලිසිය අධිකරණයට කියා සිටියේය.

ඉන් අනතුරුව එම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී නොච්චියාගම පදිංචි සැකකරු සන්තකයේ පිළිමය තිබෙන බව තහවුරු කරගෙන එය රුපියල් ලක්ෂ දහයකට මිලදී ගැනීමට සැකකරුවන් තිදෙනා සමඟ නිවෙසට ගිය අවස්ථාවේ පිළිමය රුපියල් දස ලක්ෂයකට පොලිස් නිලධාරීන්ට විකිණීමට උත්සාහ කළ අවස්ථාවේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය තවදුරටත් අධිකරණයට දැන්වූවේය.

සැකකරුවන් සන්තකයේ තිබූ රන්පැහැ බුද්ධ ප්‍රතිමාවේ උස සෙන්ටිමීටර් දහයක් හා එහි බර කිලෝ එකයි ග්‍රෑම් 130ක් බව පොලිසිය අධිකරණයට දැන්වූ අතර ප්‍රතිමාව පුරාවිද්‍යා වටිනාකමක් ඇත්ද යන්න සම්බන්ධයෙන් තහවුරු කර ගැනීම සඳහා පුරාවිද්‍යා වාර්තාවක් කැඳවීමට නියෝග ලබාදෙන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

අත්අඩංගුවට ගත් පිළිමය පුරාවිද්‍යා වටිනාකමක් ඇති එකක්ද යන්න තහවුරු කර ගැනීම සඳහා වාර්තාවක් නිකුත් කරන ලෙස විනිසුරුවරයා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කළේය. ඉදිරි දිනයේදී සැකකරුවන් සිවුදෙනා කහටගස්දිගිලිය සංචාරක මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස විනිසුරුවරයා අනුරාධපුර බන්ධනාගාර අධිකාරියට නියෝග කළේය.

සැකකරුවන් සිවුදෙනා වෙනුවෙන් නීතිඥ රංජිත් රාජකරුණා, චන්දන වීරකෝන්, නලින් දිමුතු බණ්ඩාර, නයනා රත්නායක යන මහත්ම මහත්මීන් අධිකරණය හමුවේ පෙනී සිටි අතර කහටගස්දිගිලිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රදීප් මංජුල උඩමලගල මහතාගේ උපදෙස් මත සැරයන් සුනිල් ශාන්ත (8419), පොලිස් කොස්තාපල් ඉලංගසිංහ (47818), යන මහත්වරු පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියහ.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon