ගෝඨාභයගේ ‘වියත් මඟ’ දේශනය ආණ්ඩුවේ 2025 ආර්ථික සැලසුමේ කොපියක්

  👤  4179 readers have read this article !
By mawbima 2018-05-22

පසුගිය දිනක කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවැත්වූ වියත් මඟ නම් සංවිධානයේ සමුළුව අමතමින් ගෝඨාභය රාජපක්ෂ කළ කතාව අසාමාන්‍ය ලෙස උත්කර්ෂයට නැංවීමට සමහරු කටයුතු කරන ආකාරයක් පෙනෙන්නට ඇති බවත් එය බොහෝ දෙනා තුළ එදින අලුත් යමක් සිදු වෙතැයි බලාපොරොත්තුව ඇති කළත් කාරණා කිහිපය එකින් එක ගෙන බැලූ විට මෙහි සැබැවින්ම වෙනසක් සිදු වී නොමැති බවත් එය ආණ්ඩුව ඉදිරිපත් කළ 2025 දැක්ම' (ම2025) ආර්ථික සැලසුම සහ දැක්ම ප්‍රකාශයම ක්‍රියාත්මක කිරීම සඳහා අමතර වසර පහක් ඉල්ලා තිබීම පමණක් එහිදී සිදුව තිබෙන බවත් සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම පවසයි. අමාත්‍යවරයා මෙසේද කීය.

එළැඹෙන දශකයේ චීනය, ඉන්දියාව සහ ජපානය ප්‍රධාන ආර්ථිකයන් බවට පත්වන බවත් ආසියාව ආර්ථිකයේ කේන්ද්‍රය බවට පත්වන බවත් හිටපු ආරක්ෂක ලේකම්වරයා පවසා ඇත. අප චීනය සමඟ ගිවිසුමක් පිළිබඳව කතිකාවක නිරත වනුයේත් ඉන්දියාව සමඟ පුළුල් ආර්ථික සහ තාක්ෂණික ගිවිසුමක් ගැන කතා කරනුයේත් මේ හේතුව නිසාය. සිංගප්පූරුව සමඟ අප දැනටමත් ගිවිසුමකට එළැඹ ඇත. එමෙන්ම වෙනත් ආසියානු ආර්ථිකයන් සමඟ ගිවිසුම් ගත වීමටද අපේක්ෂා කරමු. අවධානය ආසියාව දෙසට යොමු කරමින් ඉන්දියානු සාගර කලාපයේ කේන්ද්‍රය බවට ශ්‍රී ලංකාව පත්කර ආසියාවේ වර්ධනයේ වාසිය ලබා ගැනීම අපගේ අපේක්ෂාවයි.

තම කතාව තුළ ගෝඨාභය, ආර්ථික සංවර්ධනය රටේ සියලුම ප්‍රශ්නවලට විසඳුම බවද ප්‍රකාශ කර ඇත. අපගේ අවධානය සම්පූර්ණයෙන්ම ආර්ථික වර්ධනය කෙරෙහි යොමු කර ඇත්තේත් වැඩි පිරිසකගේ ආර්ථිකය නඟාසිටුවීම සඳහා ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකිරීමට කටයුතු කරනුයේත් ඒ අරමුණු පෙරදැරිවය. අපගේ රැකියා දස ලක්ෂයේ ව්‍යාපෘතිය ආදී ක්‍රියාමාර්ග යොමුව පවතින්නේද එම දිශාවටමය.

වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී ආර්ථිකයක් වීම සඳහා ආර්ථිකය ව්‍යුහය වෙනස් කළයුතු බවද ඔහු පවසා ඇත. වර්තමාන ආණ්ඩුව තරගකාරිත්වය ඉහළ නංවමින් ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කරමින් සිටිනුයේ ඒ වෙනුවෙනි.

මෙහිදී වඩාත් සිත්ගන්නාසුලු ප්‍රකාශය බවට පත්ව ඇත්තේ 'ශ්‍රී ලංකාවට සමාජ වෙළෙඳපොළ ආර්ථිකයක් අවශ්‍ය' බව ගෝඨාභය තම කතාව අතරතුරදී ප්‍රකාශ කිරීමය. මෙය 100%ක්ම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වූ කාරණයක් වන අතර මේ වචනවලින් අගමැතිවරයා බොහෝ වතාවක් එය පවසා තිබේ.

සාම්ප්‍රදායික ආර්ථිකය වෙනස් කිරීමේ කටයුත්ත වෙනුවෙන් වර්තමාන ආණ්ඩුව කටයුතු කරමින් සිටියදී එම වෙනසේ අවශ්‍යතාව සහ එලෙස වෙනස් කිරීම ප්‍රමාද කිරීම හේතුවෙන් අපගේ අවස්ථාවන් ගිලිහී යා හැකි බව ඔහු පැවැසීම විහිළු සහගතය.

විද්‍යාව සහ තාක්ෂණය දියුණු වෙමින් පවතින බවත් අන්තර්ජාලය මූලික කොටගත් ව්‍යාපාර සංවර්ධනය වෙමින් පවතින බවත් ඔහු පවසා ඇත.

ඒ වෙනුවෙන් 'ඩිජිටල් ආර්ථිකයක් සහ සුහුරු සමාජයක් අපට නිර්මාණය කළ හැකියි' යැයි ද ඔහු ප්‍රකාශ කර තිබේ. ශ්‍රී ලංකාවේ 'තොරතුරු සන්නිවේදන තාක්ෂණ ආයතනය' හරහා දැනටමත් ක්‍රියාත්මක 'සුහුරු සමාජ කව' හරහා රජය සිදු කරමින් සිටිනුයේද ඒ කටයුත්තය. ඩිජිටල් ආර්ථික මූලෝපාය අප ක්‍රියාත්මක කරන්නේද ඒ සඳහාය. ආර්ථිකයේ ඉල්ලුම කෙරෙහි අවධානය යොමු කරමින් කෘෂිකර්මාන්තය, සංචාරක කර්මාන්තය සහ නිෂ්පාදන ක්‍ෂේත්‍රය හරහා එය ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කරමින් සිටියි.

ප්‍රාග්ධනය ලබා ගැනීමේදී එම ආයෝජනයේ ප්‍රතිලාභ ඵලදායී දැයි සැලකිලිමත් විය යුතු බවත් ණය නැවත ගෙවීමේ හැකියාව නොමැති වීමෙන් අප අර්බුදයකට ලක්වන බවත් වෙළෙඳපොළ විශ්ලේෂණයකින් තොරව ආයෝජන සිදු නොකළ යුතු බවද ගෝඨාභය පැවැසීම අතිශයින් විහිළු සහගත ප්‍රකාශයකි. ඒ මක් නිසාද යත් පැවැති රජය අධික පොලියක් යටතේ ණය ලබාගෙන ආර්ථික හෝ වෙළෙඳපොළ විශ්ලේෂණයකින් තොරව ආයෝජනය කිරීම තුළ රටේ ආර්ථිකය අර්බුදයට ලක් කළ බැවිනි.

රජයේ මුදල් නව කර්මාන්ත ආරම්භ කිරීමට යොදවනවා නම් ඒවා ලාභදායී විය යුතු බවත් ඒවා ලාභදායී ලෙස කළමනාකරණය කළ යුතු බවද ගෝඨාභය පැවැසීම පුදුම සහගතය. මිහින් ලංකා, හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපොළ වැනි විශාල වශයෙන් අලාභ ලැබූ ආයතන, රටට කෙතරම් ගැටලු ඇති කර ඇත්ද යන්න ඔහු නොදන්නවා විය නොහැකිය. මේ සියල්ල සමඟ බලන විට වියත් මඟ යැයි පවසන සමුළුවක් හරහා ගෝඨාභය සැබැවින්ම සිදු කර ඇත්තේ පවතින ආණ්ඩුවේ ව්‍යාපෘති එම වචනවලින්ම සහ සමාන තේරුම් ඇති වෙනත් වචනවලින්ම යළිත් ඉදිරිපත් කිරීම මිසක් අන් කිසිවක් නොවේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon