කැබිනට් මාධ්‍ය ප්‍රකාශකගේ රණවිරු කතාව ආණ්ඩුවේ නිල මතය නොවේ යැයි කියන්න බැහැ

  👤  3849 readers have read this article !
By mawbima 2018-05-22

ප්‍රභාකරන් මහත්මයකු කරමින්ද, කොටි ත්‍රස්තවාදීන් චතුරගේ සහෝදරයන් කරමින්ද දෙමළ සංහාර දිනය සැමරීම වරදක් නැතැයි කියමින්ද රජයේ මාධ්‍ය ප්‍රකාශක රාජිත සේනාරත්න ඇමැතිතුමා රජයේ නිල මාධ්‍ය හමුවේදී කළ ප්‍රකාශය, ආණ්ඩුවේ නිල මතය නොවේ යැයි ආණ්ඩුවේ සමහර ඇමැතිවරු දිගින් දිගටම ප්‍රකාශ කරන බවත් එතුමන්ලාට එසේ කීමට සිහිපත් වුණේ සමාජයෙන් ඊට දරුණු විරෝධයක් එල්ල වෙන නිසා බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල පවසයි.

මන්ත්‍රිවරයා මේ අදහස් පළ කළේ ඊයේ (21දා) පිවිතුරු හෙළ උරුම ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවේදීය.

මන්ත්‍රිවරයා එහිදී මෙසේද කීවේය.

ආණ්ඩුවේ නිල මාධ්‍ය ප්‍රකාශක රාජිත ඇමැතිතුමා ආණ්ඩුවේ නිල මාධ්‍ය හමුවේ කරන ප්‍රකාශ ආණ්ඩුවේ නිල මතය නොවේ කියා කියන්න අනෙක් ඇමැතිවරුන්ට පුළුවන්ද? රාජිත ඇමැතිතුමා තමයි ආණ්ඩුවේ නිල මාධ්‍ය ප්‍රකාශක. ඒ ප්‍රකාශය කළේ විවෘත කිරීමක් මැද නොවෙයි. ආණ්ඩුවේ නිල මාධ්‍ය හමුවේදී. එහෙම ප්‍රකාශයක් ආණ්ඩුවේ නිල මතය නොවේ කියන්න අනෙක් ඇමැතිවරුන්ට තිබෙන අයිතිය කුමක්ද?

ආණ්ඩුවේ නිල මතය ප්‍රකාශ කළ හැක්කේ ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශකට පමණයි. ඔහු ප්‍රකාශ කරන්නේ ආණ්ඩුවේ නිල මතය නොවේ නම් ඔහුව ඉවත් කර වෙනත් අයකු පත් කළ යුතුයි. නමුත් මේ මොහොත වන විටත් ආණ්ඩුවේ නිල මාධ්‍ය ප්‍රකාශක රාජිත ඇමැතිතුමා ඒ කියන්නේ අනෙක් ඇමැතිවරු මොනව කිව්වත් ජනපති සහ අගමැති දෙන්නාම රාජිත ඇමැතිගෙ ප්‍රකාශය අනුමත කරන බවයි.

ඒ වගේම දිගන ප්‍රදේශයේ ඇති වුණු සිංහල, මුස්ලිම් ගැටුම සම්බන්ධයෙන් 129ක් පොලිසියෙන් අත්අඩංගුවට ගත්තා. එයින් 105ක් තවමත් අත්අඩංගුවේ පසුවන්නේ.

ඔවුන් නිදහස් කරන්නෙත් නෑ. නඩු පවරන්නෙත් නෑ. නඩු පවරන්න සාක්‍ෂිත් නෑ. මහසොහොන් බළකායේ නිර්මාතෘ අමිත් වීරසිංහ අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා තිබෙනවා. අනෙක් 104 දෙනා පල්ලෙකැලේ බන්ධනාගාරයේ රඳවා තිබෙනවා. කලබල කළ අය අත්අඩංගුවට ගෙන නැති බවත් අත්අඩංගුවට ගෙන ඇත්තේ කලබල සම්බන්ධයෙන් කිසිම සම්බන්ධයක් නොමැති අය බවත් සිංහල සංවිධාන ඇවිත් මා දැනුවත් කළා. ඒ අනුව මම අනුරාධපුරයේ සහ පල්ලෙකැලේ බන්ධනාගාරවලට ගිහින් මේ අය මුණගැසුණා.

අමිත් වීරසිංහ ප්‍රකාශ කරන ආකාරයට මහ සොහොන් බළකාය මේ කාරණයට සම්බන්ධ කර ගන්නේ පොලිසියමයි. ගැටුම් ඇතිවිය හැකි බැවින් සිංහල තරුණයන්ට කතා කර තත්ත්වය පාලනය කිරීමට උදවු කරන මෙන් මහනුවර නියෝජ්‍ය පොලිස්පති අමිත්ට දුරකථනයෙන් කතා කළ නිසා තමයි අමිත් සම්බන්ධ වෙන්නේ. මේ කතාවේ ඇත්ත නැත්ත අමිත්ගේ දුරකථන බිලක් පරීක්‍ෂා කර දැනගන්න පුළුවන්. ඒ අය ගැටුම පාලනය කිරීමට උත්සාහ දැරුවත් මුහුණ වසාගත් පිරිසක් ගැටුම් ඇති කළා. ඒ අය පාලනය කරන්න පොලිසිය කිසිම උත්සාහයක් ගත්තේ නෑ.

මේ ගැටුම ඇති කිරීමට තමන්ට උපදෙස් දුන්නේ ගෝඨාභය රාජපක්‍ෂ මහතා බවට ප්‍රකාශ කරන මෙන් නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා දිගින් දිගටම අමිත්ට බලකර තිබෙනවා. නමුත් ඔහු එය ප්‍රතික්ෂේප කර තිබෙනවා. ගැටුම වර්ධනය වන අයුරින් පොලිසිය හැසිරුණු ආකාරය පිළිබඳ අත්අඩංගුවට පත් අය දිගු විස්තරයක් කළා. මේ ගැටුම ජූලි කලබල වගේම දේශපාලන වුවමනාවක් මත ඇති කළ ගැටුමක්.

මෙම ගැටුමේ ඇත්ත තත්ත්වය දැන ගැනීමට නම් ආණ්ඩුව අනිවාර්යයෙන්ම විශ්වසනීය පුද්ගලයන්ගෙන් සමන්විත ජනාධිපති කොමිසමක් පත් කළ යුතුමයි. අගමැතිතුමන් බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පත් කළ කොමිසම වගේ නැතිව ස්වාධීන විශ්වසනීය පුද්ගලයන්ගෙන් සමන්විත කොමිසමක් පත් කළ යුතුමයි. කොමිසමක් පත් කළොත් ඇත්තටම වගකිව යුත්තන් කවුද කියා දැනගත හැකියි.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon