ඒ ආණ්ඩුවේ හිතුවක්කාරකමේ ප්‍රතිඵල අද රටම විදිනවා

  👤  1043 readers have read this article !
By mawbima 2018-05-22

ජනතාවගේ ප්‍රශ්න ගැන කතා කරන්න ගොස් තනතුරු තාන්න මාන්න නැති වුණත් ජනතාව තමා සමඟ සිටින බව තමන්ට විශ්වාස යැයි වාරිමාර්ග සහ ජල කළමනාකරණ හා ආපදා රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර පැවැසීය.

නොරොච්චෝලේ - පනිඅඩිය ගම්මානයේ පැවැති ගොවි - ධීවර හමුවකදී රාජ්‍ය ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය හේතුවෙන් සිදුවී ඇති සහ සිදුවෙමින් පවතින පාරිසරික හානිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම හමුව සංවිධානය කර තිබිණි. විවිධ පරිසර සංවිධාන නියෝජිතයන්ද, ප්‍රදේශයේ ගොවි සහ ධීවර සංවිධාන නියෝජිතයන් සහ ගම්වාසීන්ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා මෙසේද පැවැසීය.

නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය හදනවාට එදා ගම්මු විරුද්ධ වුණා. තමන්ගේ විරෝධය කියන්න පාරට බැහැපු ගම්මුන්ට ආණ්ඩුව කළේ පොලිසිය යොදවා වෙඩි තැබීමයි. එම අවස්ථාවේ එක් අයකු මිය ගියා. 04 දෙනකු තුවාල ලැබුවා.

මේ බලාගාරය හදන්න කලින් කට්ටියක් චීනයට ගියා. ඒ කණ්ඩායමට මමත් ඇතුළත් වුණා. අපි චීනයේ තියෙන ගල් අඟුරු බලාගාර බලන්න ගියා. ඒ සඳහා අධිවේගී මාර්ගවල පැය ගාණක් ගමන් කරන්න අපිට සිද්ධ වුණා. චීනයේ ගල් අඟුරු බලාගාර හදලා තියෙන්නේ ජනයා නොමැති ප්‍රදේශවල. පස්සේ මේ බව ආපසු ඇවිත් මම මාධ්‍යයට කිව්වා. මගේ විරෝධය එතැනදී පළකර සිටියා. නමුත් ආණ්ඩුව මේ කිසිදු විරෝධයක් නොතකා බලාගාරය ඉදි කළා. අද එහි පල විපාක විඳින්න සිද්ධ වෙලා තියෙන්නේ අහිංසක ජනතාවට.

මමත් කාලයක් විදුලිබල අමාත්‍යාංශයේ රාජ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කළා. මම ඒ කාලේ හැකි තරම් පරිසර හානිය අවම කරන්න උත්සාහ කළා. මම විශ්වාස කරනවා මට කළ හැකි දේ කළා කියලා.

විටක මා හිතනවා මේ රටේ තියෙන ඔක්කොම කුණු ගෙනවිත් දාන්නේ පුත්තලමටද කියලා.

කොළඹ කුණු ටික පුත්තලමට ගේන්න යනවා. මම ඒකට විරුද්ධ වුණා. මාදම්පේ ප්‍රදේශයේ පරණ යකඩ උණුකරන කර්මාන්තශාලාවක් දාලා ඒ පැත්තම ඉවරයි. මදුරන්කුලිය පැත්තේ ස්ථානයක පරණ බැටරි ගෙනවිත් කඩන්න අවසර දීලා. කල්අඩිය ප්‍රදේශයේ පරණ යකඩ උණුකරන කර්මාන්තශාලාවක් හදන්න අවසර දීලා. මේ විදියට බැලුවහම රටේම තියෙන කුණු ගෙනත් දාන තැනක් බවට පුත්තලම පත්වෙලා. නමුත් ඒ ගැන කතා කරන්න කෙනෙක්. නැහැ. ඒත් මම නම් කතා කරනවා. ඒ නිසා මම වැරැදියි.

මෙහිදී අදහස් දැක්වූ මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්‍ෂ කීර්ති තෙන්නකෝන්: ගල්අඟුරු කියන්නේ අද මාෆියාවක් බවට පත්වෙලා තියෙනවා. ජනතාවගේ රීරි මාංසය උරා බොන තැනක් බවට විදුලි බල මණ්ඩලය පත්වෙලා. ගල් අඟුරු කියන්නේ ලොකු මගඩියක්. ගල් අඟුරුවලට පින් සිද්ධ වෙන්න ඕස්ට්‍රේලියාවේ ගෙවල් හදපු අය ගැන මේ වන විට හෙළිවෙලා තියෙනවා. අවශ්‍ය නම් ලිඛිත සාක්‍ෂි ඉදිරිපත් කරන්න අපි සූදානම්.

අද අපි එනවා කියලා දැනගෙන බලාගාරයේ ගොඩ ගහලා තියෙන ගල්අඟුරුවලට වතුර ඉසිනවා. මේ ආකාරයට හැමදාම කටයුතු කරනවා නම් සිද්ධ වෙන පරිසර හානියෙන් 50%ක් අවසන්. නමුත් කරන්නේ නැතිකමයි තියෙන ගැටලුව.

නාත්තන්ඩිය - සමන්ප්‍රිය ජයශාන්ත, හලාවත - ප්‍රසාත් පූර්ණමාල්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon