ගේල්ගේ හයේ පහර වාර්තාව නොබිඳී පවතී සන්ජු සැම්සන් ගැන වෝන්ගෙන් සහතිකයක්

  👤  4023 readers have read this article !
By mawbima 2018-05-22

2018 අයි.පී.එල්. තරගාවලියේ පසුගියදා (19දා) පැවැති තරගවලදී දිල්ලි ඩෙයා ඩෙවිල්ස් කණ්ඩායම හමුවේ ලකුණු 11ක පරාජයක් අත්විඳි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට සහ චෙන්නායි සුපර් කිංස් කණ්ඩායම හමුවේ කඩුලු 5ක පරාජයක් ලැබූ කිංස් - ඔධ් පන්ජාබ් කණ්ඩායමට මෙවර අයි.පී.එල්. තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව අහිමි වූ අතර ප්‍රසාද ලකුණු 14ක් හිමි කරගෙන සිටින රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ලකුණු සටහනේ 4 වැනි කණ්ඩායම ලෙසින් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගත්තේය.

ඒ අනුව 2018 අයි.පී.එල්. තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අද (22දා) මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගණයේදී සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ චෙන්නායි සුපර් කිංස් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත අතර කල්කටාහි ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගණයේදී කල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර අර්ධ අවසන් පූර්ව තරගයක් හෙට (23දා) පැවැත්වීමට නියමිතය.

මේ අතර 2012 අයි.පී.එල්. තරගාවලියේදී හයේ පහර 59ක් එල්ල කරමින් ක්‍රිස් ගේල් තබා තිබූ වැඩිම හයේ පහර සංඛ්‍යාවේ වාර්තාව බිඳහෙළීමට තවම කිසිදු ක්‍රීඩකයකු අසමත්ව තිබීම කැපී පෙනෙන කරුණක් වන අතර 2008 වසරේ සිට මේ දක්වා පැවැති අයි.පී.එල්. තරගාවලි 11කදී ක්‍රිස් ගේල් එල්ල කර ඇති මුළු හයේ පහර සංඛ්‍යාව 292කි. කෙසේ වෙතත් 2018 අයි.පී.එල්. තරගාවලියේ මේ දක්වා පැවැති තරගවලදී හයේ පහර 33 බැගින් එල්ල කරමින් අම්බති රයුදු සහ රිෂාබ් පාන්ට් වැඩිම හයේ පහර සංඛ්‍යාවක් එල්ල කළ ක්‍රීඩකයන්ගේ සටහනේ පෙරමුණේ පසුවෙයි.

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ සන්ජු සැම්සන් ඉන්දියාවේ මීළඟ සුපිරි තරුව බව රාජස්ථාන් කණ්ඩායමේ පුහුණු උපදේශක ශේන් වෝන් ඕස්ට්‍රේලියානු වෙබ් අඩවියකට පවසා තිබේ. කෙසේ වෙතත් 2018 අයි.පී.එල්. තරගාවලියේදී සන්ජු සැම්සන් තරග 14කට ක්‍රීඩා කර අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 391ක් ලබා ගෙන ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon