පාසල් රග්බි පිටියේ යළිත් කුණු පැල්ලම්

  👤  3925 readers have read this article !
By mawbima 2018-05-22

විචිත්‍ර වීරසිංහ

කොළඹ වෙස්ලි හා රාජකීය විදුහල් කණ්ඩායම් අතර පසුගියදා පැවැති සිංගර් පාසල් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ තරගයක් නිමා වීමෙන් පසු සිදුවූ ගුටිබැට හුවමාරුවට පාසල් රග්බි ක්‍රීඩකයන් මැදිහත් වී ඇත්නම් එම පාසල්වලට එරෙහිව තදින් ක්‍රියා කිරීමට තම සංගමය තීරණය කර ඇතැයි පාසල් රග්බි පාපන්දු සංගමයේ සභාපති රංජිත් චන්ද්‍රසේකර මහතා පවසයි.

ඒ අනුව මෙම සිදුවීම සම්බන්ධයෙන් "මව්බිම" විමසූ අවස්ථාවේදී ඔහු පැවැසුවේ "මේ සිදුවීමට සම්බන්ධ වෙලා ඉන්නේ කවුද කියලා අපිට දැන්ම හරියටම කියන්න බැහැ.

වහාම ඒ ගැන පරීක්‍ෂණයක් පැවැත්වෙනවා. ඒත් මේ සිදුවීම තරගයෙන් අනතුරුව සිදුවෙලා තියෙන නිසා මේ සම්බන්ධයෙන් ඉදිරියේදී පොලිසිය කටයුතු කරාවි. තරගයක පරාජය දරාගන්න බැරි වුණාම මවුපියන් හා ආදි ශිෂ්‍යයන් ඒක පිට කරන්න යොදාගන්නා ක්‍රමය පිළිගන්න අමාරුයි. කොහොම වුණත් මේ සිදුවීමට රග්බි ක්‍රීඩකයන් සම්බන්ධ නම් එයට අදාළ පාසල්වලට අපි තදින් ඉන්නවා" යනුවෙන්ද පාසල් රග්බි සභාපතිවරයා සඳහන් කළේය.

වෙස්ලි හා රාජකීය අතර පසුගියදා පැවැති මෙම තරගය නිමා වීමෙන් අනතුරුව රාජකීය විදුහල් රග්බි කණ්ඩායමේ හිටපු නායකයකුට වෙස්ලි විදුහලේ ආධාරකරුවන් පිරිසක් විසින් පහරදී ඇතැයි පැවැසෙන අතර, මෙම ගැටුම හේතුවෙන් වෙස්ලි විදුහල සමඟ ඉදිරියේදී පැවැත්වෙන තරග සඳහා තම දායකත්වය ලබා නොදීමට ශ්‍රී ලංකා රග්බි විනිසුරුවරුන්ගේ සංගමය තීරණය කර තිබේ.

එම සංගමයේ සභාපති නිෂාම් ජමල්ඩීන් මහතා පැවැසුවේ මෙවැන්නකි. "මෙය අපට හැමදාම කරන්න බැහැ. ඒක නිසා වෙස්ලි විදුහල සමඟ පැවැත්වෙන තරගවලට තාවකාලිකව අපි විනිසුරුවන් ලෙස කටයුතු කරන්නේ නැහැ කියලා තීරණයකට ආවා. මේ තීරණය අපි පාසල් සංගමයටත් දැන්නුවා" යනුවෙනි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා රග්බි විනිසුරුවරුන්ගේ සංගමය ගෙන ඇති මෙම තීරණය සම්බන්ධයෙන්ද අදහස් දැක්වූ ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමයේ සභාපතිවරයා පැවැසුවේ වෙස්ලි විදුහල සමඟ පැවැත්වෙන ඉදිරි තරගවල විනිශ්චය කටයුතුවලින් අෑත් වන බව ශ්‍රී ලංකා රග්බි විනිසුරුවරුන්ගේ සංගමය මේ වනතුරු (ඊයේ දහවල්) තමන්ට ලිඛිතව දන්වා නොමැති බවය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon