ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේදී සභාපති පුටුවට සිවුකොන් සටනක්

  👤  3999 readers have read this article !
By mawbima 2018-05-22

මේ මස 31දා පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේ සභාපති අසුන සඳහා වත්මන් සභාපති තිලංග සුමතිපාල මහතා නිතරගයෙන් පත්වීමට අවස්ථාව ඇති බව මෙයට පෙර ප්‍රකාශ වුවද ඊයේ (21දා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුක් කළ නිවේදනයට අනුව මෙවර සභාපති තනතුර සඳහා අපේක්‍ෂකයන් සිවු දෙනකු ඉදිරිපත්ව සිටී.

පසුගියදා පැවැති ක්‍රිකට් ආයතන විශේෂ මහා සභා රැස්වීමේදී පත්කරන ලද නිලවරණ කමිටු සාමාජිකයන් පස් දෙනා වන රසික වයි. වීරතුංග, කොමදෝරු සනත් උත්පල, බුද්ධික ඉලංගතිලක, එච්.ඩී. ජූඩ් පෙරේරා හා දේවගිරි බණ්ඩාර යන මහත්වරුන්ගේ අස්සනින් යුතු එකී නිවේදනයට අනුව සභාපති තනතුර සඳහා තිලංග සුමතිපාල, ජයන්ත ධර්මදාස, මොහාන් ද සිල්වා හා නිශාන්ත රණතුංග යන මහත්වරුන් නාම යෝජනා දී ඇති බවද තහවුරු කර ඇත.

ලේකම් තනතුර සඳහා ෂම්මි සිල්වා, බන්දුල දිසානායක, හිරන්ත පෙරේරා, මොහාන් ද සිල්වා හා නිශාන්ත රණතුංග යන මහත්වරුන් නාම යෝජනා භාරදී ඇති අතර, උප ලේකම් තනතුර වෙනුවෙන් බන්දුල දිසානායක, සමන්ත ‍ෙදාඩංවල හා රවීන් වික්‍රමරත්න යන මහත්වරුන් ඉදිරිපත්ව සිටී.

කෙසේ වෙතත් උප සභාපති තනතුරු දෙක වෙනුවෙන් ෂම්මි සිල්වා, හිරන්ත පෙරේරා, කේ. මතිවානන් හා මොහාන් ද සිල්වා යන මහත්වරුන් ඉදිරිපත්ව සිටින අතර, භාණ්ඩාගාරික තනතුර වෙනුවෙන් ෂම්මි සිල්වා, බන්දුල දිසානායක හා ඊස්ට්මන් නාරංගොඩ නාම යෝජනා භාරදී තිබේ.

උප භාණ්ඩාගාරික තනතුර වෙනුවෙන් ගිහාන් වීරසිංහ, බන්දුල දිසානායක හා නිහාල් ලෙව්කේ යන මහත්වරුන් ඉදිරිපත්ව සිටීමද විශේෂත්වයකි. තවද මෙම නිලවරණය මඟින් විනිසුරු කමිටුව හා තරගාවලි කමිටුවට නිලධාරීන් තෝරාගැනීමද සිදු කෙරෙනු ඇත.

මේ අතර මෙම නිලවරණයේ නාමයෝජනා සම්බන්ධයෙන් අද (22දා) පස්වරු 3.00 සිට 25 වැනිදා පස්වරු 3 දක්වා විරෝධතා ගොණුකළ හැකි අතර, එම විරෝධතා මැයි 28 වැනිදා විභාගයට ගැනීමට නියමිතව ඇති බවද සඳහන් වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon