නියෝජ්‍ය කථානායක තනතුරට ඡන්දයෙන් සුදුස්සකු පත් කරන්න

  👤  3959 readers have read this article !
By mawbima 2018-05-21

ජේ.ටී. ද සිල්වා

නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල ඉල්ලා අස් වීම නිසා හිස්ව පවතින එම තනතුරට පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කර වහාම සුදුස්සකු තෝරාගත යුතු බවට පාර්ලිමේන්තුවේ පැවැති පක්ෂ නායක රැස්වීමේදී උණුසුම් කතාබහක් ඇති වූ බව වාර්තා වේ.

නියෝජ්‍ය කථානායකවරයා, ජනාධිපතිවරයා වෙත සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇති බව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ බවත් ඔහු කථානායකවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර විපක්ෂයේ අසුන්ගෙන සිටින බවත් මෙහිදී පවසා ඇති රවි කරුණානායක මන්ත්‍රිවරයා, නියෝජ්‍ය කථානායක තනතුරට කෙනකු පත් නොකරන්නේ මන්දැයි ප්‍රශ්න කොට තිබේ.

නියෝජ්‍ය කථානායකවරයා තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපියක් ජනාධිපතිවරයාට භාරදී ඇතත්, එම ලිපිය පාර්ලිමේන්තුවට එවිය යුතු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොතැනකවත් සඳහන් වී නැති බවද රවි කරුණානායක මන්ත්‍රිවරයා මෙහිදී පෙන්වා දී ඇත.

දැන් කළ යුතුව ඇත්තේ පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කර ඡන්දයක් පවත්වා එම පුරප්පාඩුවට සුදුස්සකු තෝරාගැනීම යැයිද හෙතෙම අවධාරණය කර ඇත.

මෙවැනි අවස්ථාවක කථානායකවරයා ඉල්ලා අස්වීමේ ලිපියක් ජනාධිපතිවරයා වෙත යවා ආණ්ඩු පක්ෂයේ අසුනකට වී සිටියහොත් පාර්ලිමේන්තුවට කුමක් සිදුවේවිදැයි මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රි ඇම්.ඒ. සුමන්තිරන් විමසා ඇති බව වාර්තා වේ.

ජනාධිපතිවරායා එම ලිපිය පාර්ලිමේන්තුවට එවා නැත්තේ ලිපිය පිළිනොගත් නිසාදැයි කිව නොහැකි බව මෙහිදී කථානායකවරයා සඳහන් කර ඇතැයිද මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර වහාම දැනුම් දෙන ලෙස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වාගෙන් කථානායකවරයා ඉල්ලීමක් කළ බවද වාර්තා වේ.
නියෝජ්‍ය කථානායක ඉල්ලා අස් වී තිබියදී කෙනකු එම තනතුරට පත් නොකරන්නේ ඇයිදැයි එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රි නලීන් බණ්ඩාර ජයමහ ඉකුත් 09දා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.

ඒ අවස්ථාවේ පිළිතුරු දුන් හිටපු ඇමැති එස්.බී. දිසානායක, "මේ පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය කථානායකවරු විපක්ෂයේ හිඳිමින් එම තනතුරේ කටයුතු කර තිබෙනවා. දැන් කාරක සභා නියෝජ්‍ය සභාපතිතුමත් විපක්ෂය පැත්තේ අසුන්ගෙන එම තනතුරේ කටයුතු කරනවා. ඒ නිසා අපේ පක්ෂය කැමැති නම්, තිලංගට විපක්ෂයේ හිඳගෙන තවදුරටත් නියෝජ්‍ය කථානායක තනතුරේ කටයුතු කරන්න පුළුවන්" යැයි පවසා තිබේ.

නියෝජ්‍ය කථානායක තනතුර පුරප්පාඩු වී ඇත්නම්, එම පුරප්පාඩුව, ස්ථාවර නියෝග යටතේ පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කළ යුතුව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon