දකුණේ තිබෙන්නේ ඉන්ෆ්ලුවන්සා රෝගී තත්ත්වයක් නොවෙයි

  👤  4119 readers have read this article !
By mawbima 2018-05-21

දකුණේ මේ වන විට පවතින උණ රෝගය ඉන්ෆ්ලුවන්සා තත්ත්වයක් ලෙස හන්වඩු ගහන්න එපා යැයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා ඉල්ලයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

දකුණු පළාතේ මගේ පාලනය යටතේ මූලික රෝහල් 8ක් තියෙනවා. ඒවායේ කිසිම එකක මේ වන විට කිසිදු මරණයක් වාර්තා වෙලා නෑ. දැනට මට ලැබුණු ආරංචි අනුව ගාල්ල කරාපිටිය රෝහලේ සහ මාතර මහ රෝහලේ තමයි මේ මරණ වාර්තා වෙලා තියෙන්නේ.

මේක ඉන්ෆ්ලුවන්සා තත්ත්වයක් ලෙස හන්වඩු ගැසීම අපරාධයක්. අද මගෙන් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් කතා කරලා අහනවා පාසල් වහන්න ද කියලා. නමුත් එහෙම දරුණු තත්ත්වයක් නෑ. වැඩිපුරම සිටින්නේ මේ ඉන්ෆ්ලුවන්සා රෝගීන් නොවෙයි. මේ දිනවල තියෙන උණ කාණ්ඩ තුනක් යටතේ තියෙනවා. 'ඇඩිනෝ වයිරස් උණ' සහ 'රෙස්පිරේටරි සින්සිටියල් වයිරස් උණ' තත්ත්වයත්. වැඩි පුරම රෝහල්වල සිටිනේ මේ රෝගීන්. සාමාන්‍යයෙන් වසරේ මැයි ජුනිවල මෙම උණ රෝගීන්ගේ වැඩිවීමක් තියෙනවා. මේ අවස්ථාවේ උණ සහ කැස්සට ජනතාව බියවෙලා රෝහල් කරා රැගෙන ඇවිත් තියෙනවා. මේ තත්ත්වයත් හොඳ දෙයක් නොවේ. ඉහත කී වයිරස් උණ දෙවර්ගයෙන් වැඩි පිරිසක් සිටිද්දී ඉන්ෆ්ලුවන්සා ශරීර ගතවූ අයත් සුළු ප්‍රමාණයක් ඉන්නවා. සමහර අවස්ථාවලදී බය වෙලා පොඩි උණකට රෝහලකට ගෙන ආ විට ඉන්ෆ්ලුවන්සා එක හැදෙන්න පුළුවන්. ඒ නිසා අනවශ්‍ය බියක් ඇති කර ගන්න එපා. නමුත් පරිස්සම් වන්න. ගොඩක් සෙනඟ ගැවසෙන ස්ථානවල ඉන්න එපා. හැකි සෑම විටම මුඛ ආවරණයක් පලඳින්න, සෑම විටම දෑත් සබන් දා සෝදන්න, දරුවන්ට අමතරව යම් කිසි උණ තත්ත්වයක් සහිත ගර්භණී කාන්තාවන් සහ වයස අවුරුදු 60 වැඩි අය මෙවැනි අවස්ථාවක වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න. සාමාන්‍ය තරුණ අයට නම් මෙය දරා ගැනීමේ ශක්තිය තිබෙනවා.

කරාපිටිය රෝහලේදී සිදුවූ දෙනෙත් ගිම්සර දරුවාගේ මරණය

පසුගිය 17 දින ද ගාල්ල කරාපිටිය රෝහලේදී දරුවකු මියගොස් තිබිණි. එසේ මියගිය දෙනෙත් ගිම්සර පුංචි පුතුගේ පියා වන එස්. මදුසංක මහතා මේ සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වීය.

නැති වුණ මගේ දරුවා මියගිය 18 වැනි දරුවා බව රෝහලේදී මට කිව්වා. මම හිටපු වාට්ටුවේ දින දෙකකට කලින් තව දරුවෙක් නැතිවුණා.

තවත් දරුවකුට මෙවැනි විපතක් නොවෙන්න රෝහලේ වෛද්‍යවරුන් කාර්යක්ෂමව වැඩකටයුතු සිදු කරන්නේ නම් හොඳ බව පසුගිය 18 දින ගාල්ල කරාපිටිය රෝහලේදී මියගිය දෙනෙත් ගිම්සර පුංචි පුතුගේ පියා වන එස්. මදුසංක මහතා පවසයි. මගේ දරුවා රෝහලට ගෙනිච්චේ පසුගිය 10 වැනිදා. නමුත් එදා ඉඳලා වෛද්‍යවරු මගේ දරුවා ගැන සැලකිල්ලක් දැක්වූයේ නෑ. අවසානයේ මම ගිහිල්ලා කිව්වා මේ දරුවට අමාරුයි මේ ගැන පොඩ්ඩක් බලන්න කියලා. ඒ වෙලාවේ තමයි බැලුවේ. දරුවා රෝහලට ගේන කොට කැස්සයි උණයි විතරයි. එතකොට මේ රෝගී තත්ත්වය තිබුණේ නෑ. අපේ දරුවා ඇඩ්මිට් කරපු වාට්ටුවේ ඉඳලා දින දෙකකට කලින් දරුවෙක් නැතිවුණා. ඊට පස්සේ තමයි අපේ දරුවටත් මේ රෝග ලක්ෂණය වැලඳෙන්න ඇත්තේ. වාට්ටුවේදී අපේ දරුවට ඒ රෝග ලක්ෂණ පෙන්නුම් කළා. එක සැරයක් සිහි නැතිවුණා. ඒ පාර වෛද්‍යවරු මට හම්බවෙන්න එන්න කිව්වා. දරුවා මැෂින් එකට ගහලා තිබුණේ අයි.සී.යූ. එකේ ඉඩ නෑ කියලා.

පස්සේ හොඳට හිටියා. රාත්‍රියේ අමාරු වෙලා නර්ස් කෙනකුට කිව්වාම ඔයාගේ දරුවා විතරක් නොවේ අනිත් දරුවොත් බලන්න ඕන කියලා පැය භාගෙකට පස්සේ තමයි ඇවිත් තියෙන්නේ. පස්සේ වෛද්‍යවරුන් ඇවිල්ලා ගොඩක් උත්සාහ කළා. නෑ කියන්නේ නෑ. ඒත් වෛද්‍යවරුන් සැලකිලිමත් වුණා නම් දරුවා බේරගන්න තිබුණා. මේ හිටපු වෛද්‍යවරුන් වාට්ටුව භාර මැඩම් ඉන්න වෙලාවට ඉතාම කාර්යක්ෂමව වැඩ කරනවා. එතුමිය ගියාට පස්සේ ඒ අයගේ වැඩ. පස්සේ මට වෛද්‍යවරුන් කිව්වා පැය භාගයක් විතර උත්සාහ කරා හාට් එක ගන්න බැරි වුණා කියලා. මම ඒ අවස්ථාවේ ටිකක් ආවේගශීලී වුණා. පස්සේ මම ඒ ආවේගශීලී වුණ හින්දා වෙන්න ඇති මේ අය මගේ දරුවාගේ බොඩි එක දෙන්නත් ප්‍රමාද කරා. මම හිතන්නේ වෛද්‍යවරුන් කියන්නේ දෙවිවරුන් වගේ අය කියලා. ඉතින් ඒ අය පළිගන්න අය වෙන්න බෑනේ.

කෙසේ නමුත් අප මේ පිළිබඳව ගාල්ල කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයම්පති සේනානායක මහතාගෙන් විමසීමේදී ඔහු මෙසේ පැවැසීය.

වෛද්‍යවරුන් වශයෙන් මේ තත්ත්වයන් සමනය කරන්න ඔවුන් විශාල වෙහෙසක් ගන්නවා. ඒ අතර සිදු වූ දෙයක් තමයි ඔය දරුවා මියයෑම. අනිත් එක මම මේ සම්බන්ධව මුලින්ම ඇහුවේ 'මව්බිම' පත්තරෙන්. මම කිව්වෙත් 'මව්බිම' පුවත්පතට, නමුත් එය ප්‍රචාරය කිරීමේදී පොඩි දෝෂයක් වෙලා තියෙනවා. මම කිව්වේ දරුවන් පහක් මිය ගියා කියලා. නමුත් මට ඒ වෙලාවේ දින වකවානු කියන්න බැරිවුණා. පුවත්පතේ තිබුණේ පසුගිය දින කිහිපය තුළ කියලා. ඒක මාසයක පමණ කාලයක කියලා නිවැරදි විය යුතුයි.

දැනට තියෙන තත්ත්වය අනුව දරුවන් හත් දෙනකු මියගොස් තියෙනවා. දරුවන් 05 දෙනකු තමයි ඉන්ෆ්ලුවන්සා කියලා හඳුනා ගෙන තියෙන්නේ. අනිත් දෙදෙනාගේ දත්ත මේ වන විට කොළඹට යවා තිබෙනවා. මම නම් දන්නේ නෑ ඔය 18ක් මැරිලා කියන කතාව. ඔය බොරු එක එක්කෙනා කියනවා. මම කියන්නේ වගකීමෙන්. මේ වන විට මියගොස් ඇති ප්‍රමාණය 07යි. ඒ වගේම මේ තත්ත්වය මර්දනය කර ගැනීමට මේ වන විට වෛදවරුන් විශාල කාර්යභාරයක නියැළෙනවා. ඒ වගේම රජය පැත්තෙන් කෝටි ගාණක් වටිනා නවීන උපකරණ ලබා ගැනීම සඳහා අනුමැතිය ලබා දී තිබෙනවා. මොනවා වුණත් ටෙන්ඩර් ක්‍රම අනුගමනය කරලා මේ උපකරණ ගේන්න පොඩි කාලයක් යාවි.
ඇති වී ඇති තත්ත්වය සම්බන්ධයෙන් දකුණු පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයා වන දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා මහතාගෙන් විමසීමේදී ඔහු මෙසේ පැවැසීය.

මේ රෝගී තත්ත්වය වසංගත තත්ත්වයක් බවට පත්වෙන්නට තරම් උත්සන්න වී නෑ. නමුත් මරණ කිහිපයක් වාර්තා වී තිබූ නිසා මෙය ජනතාව අතර කුකුසක් ආවා. නමුත් මේ වන විට මේ තත්ත්වය මර්දනය කිරීමට මූලික පියවර අරන් තියෙනවා. මේ රෝගය පැතිරීමේ මූලික ස්ථාන වෙන්නේ පෙරපාසල් හා පාසල් පද්ධතියයි. ඒ සඳහා අපි මුලින් උපදෙස් ලබාදී තිබෙනවා රෝගය පැතිරීම වැළැක්වීම සම්බන්ධයෙන්. මේ දිනවල ඇති වූ සමාජ කතිකාවත් සමඟින් කුඩා වෙනසක් දැනුණ විගස ජනතාව රෝහල් පද්ධතිය කරා ඇදී එනවා. මේ නිසා රෝහල්වල ඇතුළත් කිරීම්වල යම් සංඛ්‍යාත්මක වැඩි වීමක් තියෙනවා. ඒ නිසාම අද බෙහෙත් හේත් සහ සේවකයන්ගේ වෙනසක් ඇති කිරීමට පියවර ගෙන තිබෙනවා. මේ වන විට නම් දකුණු පළාතේ පාසල් වසා දැමීමට තීරණය කරලා නෑ. ඉදිරියේදී අවශ්‍ය වුවහොත් සෞඛ්‍ය සහ අධ්‍යාපන බලධාරීන් කතා කර තීරණයක් ගන්නවා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon