නීති සතිය 2018 - අද ඇරැඹේ

  👤  4301 readers have read this article !
By mawbima 2018-05-21

නීතිය නොදැන සිටීම සමාවට හේතුවක් නොවේ. නීතියේ එසේ ලියැවී ඇත. හැකි සෑම විටම පුරවැසියකු වශයෙන් නීතිය ගැන අවබෝධයක් ලබා ගතයුතුය. නීතිය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට එදිනෙදා ජීවිතයේදී ජනතාවට ලැබෙන අවස්ථා අවමය.

මහජනතාවට නීතිය පිළිබඳව දැනුවත්වීමට ඉතා හොඳ අවස්ථාවක් මේ වන විට ලැබී තිබේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් පවත්වනු ලබන මහජනතාවට නීති උපදේශන නොමිලයේ ලබා දෙන 'නීති සතිය 2018' මේ මස 21 වැනිදා (අද) සිට 27 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා ගෙන තිබේ.

ඒ අනුව 'නීති සතිය 2018' මඟින් මැයි 21 සිට 25 දක්වා පාසල් සිසුන්ට, රජයේ සේවකයන්ට හා සාමාන්‍ය ජනතාව නීතිය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් පැවැත්වීමට නියමිතය. මේ දැනුවත් කිරීමේ වැඩසටහන නීති ආධාර කොමිෂන් සභාව මඟින් සංවිධානය කරනු ලබන වැඩසටහන් හා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ දිවයින පුරා පවතින ශාඛා මඟින් පවත්වනු ලබන වැඩසටහන්වලින් සමන්විත වෙයි.

පාසල් ළමයින් සඳහා විශේෂ අවධානයක් යොමු කිරීම වැඩසටහනේ විශේෂත්වයකි. ලිංගික අතවරවලින් වැළැකී සිටීම සඳහා වන උපදෙස්, එවැනි ලිංගික අතවරයකට මුහුණු දුන් අවස්ථාවක ගතයුතු පියවර එනම් සාක්ෂි රැස් කරගැනීම්, උසාවියකදී සාක්ෂි ඉදිරිපත් කිරීම්, වින්දිතයන්ගේ අයිතිවාසිකම් ආදිය පිළිබඳව දැනුවත් කිරීම ශ්‍රී ලංකා නීතිඥ සංගමය බලාපොරොත්තු වෙයි. එමෙන්ම රජයේ සේවකයන්ගේ අයිතිවාසිකම් හා ඔවුන්ට බලපාන නීතිරීති සම්බන්ධව අධ්‍යයනය කිරීම් හරහා එම නීතිවල වෙනස්වීම් තිබෙනවාද? ඒවායින් රාජ්‍ය සේවකයන් අපහසුතාවට පත්වෙනවාද යන්නත් රාජ්‍ය සේවකයන් තුළ නීතිමය දැනුම වැඩි කිරීමටත් නීතීඥ සංගමය බලාපොරොත්තු වෙයි. ග්‍රාම සේවක නිලධාරීන් හරහා සාමාන්‍ය ජනතාව රැස්කොට ඔවුන්ටද නීතිමය දැනුමක් ලබා දීමට කටයුතු සංවිධානය කොට තිබේ. මැයි 26 සහ 27 දෙදින තුළ දිවයිනේ මධ්‍යස්ථාන කිහිපයකදී නොමිලයේ නීති ආධාර සායන පැවැත්වීමට සූදානම් කොට ඇත. ප්‍රධාන නීති සායනය කෝට්ටේ නගර සභා පරිශ්‍රයේදී පැවැත්වීමටත් ගම්පහ, කුරුණෑගල, පොළොන්නරුව, මඩකළපුව, මාතලේ යන ප්‍රදේශවල තෝරාගත් ස්ථාන කිහිපයකදී නීති සායනය පැවැත්වේ. එම ප්‍රදේශවල අධිකරණය ආසන්නයේ එම මධ්‍යස්ථානය පිහිටුවීමට සංවිධායක මණ්ඩලය තීරණය කරගෙන ඇත.

නීති සායනවලින් උපදෙස් ලබා ගැනීමට මැයි 25 සිකුරාදාට පෙර තමාට පවතින ගැටලු සභාපති, නීති සතිය, ශ්‍රී ලංකා නීතිඥ සංගමය, කොළඹ 12 යන ලිපිනයට ඉදිරිපත් කළ හැකිය. එහිදී තමාට පවතින ගැටලුව කෙටියෙන් ලියා සම්බන්ධ කරගත හැකි දුරකථන අංකයත් සමඟ යොමු කළ යුතුය. දුරකථනයෙන් තමාගේ ගැටලුව ඉදිරිපත් කරනවා නම් මැයි 25 වැනිදාට පෙර ක්ෂණික දුරකථන අංක 0777235363ට කතා කිරීමටද හැකිය. එහිදී යොමු අංකයක් ලබා දෙමින් නීති උපදෙස් ලබාගත හැකි ස්ථානය දැනුම් දෙයි. 

0113133872 හෝ 0113033864 දුරකථන අංකවලට ඇමතීමෙන්ද ගැටලු ඉදිරිපත් කළ හැකිය. නඩු නොපවරා දීර්ඝ කාලයක් තිස්සේ බන්ධනාගාර වූ රැඳවූවන් සම්බන්ධයෙන්ද නීති උපදෙස් ලබාදීම මෙහිදී අපේක්ෂා කෙරේ. සහනයක් ලබාගත නොහැකි නිසා හෝ ඇප ලබා ගැනීමට නොහැකි නිසා බන්ධනාගාරයේ රැඳවූවන් සම්බන්ධ විස්තරද විස්තර ලබාදෙන අය හෝ රැඳවූවන්ගේ පවුලේ දුරකථනයෙන් සම්බන්ධ කරගත හැකි අයකුගේ දුරකථන අංකද ශ්‍රී ලංකා නීතිඥ සංගමයට එවිය හැකිය. එවිට නීතීඥ කණ්ඩායම් එම බන්ධනාගාරවලට ගොස් විශේෂයෙන්ම නීතිඥ නියෝජනයක් නැති එම රැඳවූවන් සම්බන්ධව ක්‍රියාත්මක වීමද වැඩසටහනේ එක් අංගයකි. එම රැඳවූවන්ගේ පවුල්වල දුරකථනය ලබාදීම හරහා එම අංකවලට කතා කොට ඔවුන් වෙනුවෙන් ඇප ඉල්ලීමක් කිරීම හෝ උපදෙස් ලබාදීමට පියවර ගැනීමටද අපේක්ෂාවකි. ප්‍රධාන නීති ආධාර උත්සවය හා සායනය කෝට්ටේ නගර සභා පරිශ්‍රයේදී පැවැත්වීමට සියල්ල සූදානම්ය. මැයි 26 හා 27 දෙදින තුළ උදේ 8.00 සිට සවස 4.00 වන තෙක් හැම වැඩමුළුවක්ම පවත්වනු ලබයි. ප්‍රධාන වැඩසටහන පැවැත්වෙන්නේ කෝට්ටේ නගර සභා පරිශ්‍රයේය. විවිධ රජයේ විවිධ ආයතන සහ නීතිය සම්බන්ධ කටයුතු කරන ආයතනද නියෝජනය කෙරේ. ඔවුන් එදින එම ස්ථානයට පැමිණ වැඩමුළුවට සහභාගි වන ජනතාවට නොමිලයේ එම රජයේ ආයතනවලින් ජනතාවගේ ගැටලුවලට ඵඵසහනයක් ලබා ගැනීමට උපදෙස් ලබා දීමට කටයුතු සම්පාදනය කර තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon