චරිතය ඝාතනය කර මගේ ගමන නතර කිරීම සිහිනයක් පමණයි

  👤  4101 readers have read this article !
By mawbima 2018-05-21

චරිතය ඝාතනය කර මගේ වැඩසටහන නතර කිරීමට විරුද්ධවාදීන් කල්පනා කරන්නේ නම් එය ඔවුන්ගේ සිහිනයක් පමණක් බවත්, මෙවැනි අභියෝගයන්ට මුහුණදීමේ ශක්තිය තමා වෙත ඇති බැවින් එය නතර නොකර දිනපතා රාත්‍රි ප්‍රවෘත්තිවලින් ප්‍රචාරය වන ආකාරයට චරිත ඝාතනය කරමින් උපරිම ලෙස තමන්ට මඩ ගසන ලෙස ඉල්ලන්නේ ඉන් තමන් වඩාත් ශක්තිමත් වී උදා ගම්මාන ඉලක්කය 2500 ගම්මාන 3000 දක්වා ඉහළ ඉලක්කයක් දක්වා සපුරා ගැනීමට බවත් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.

පසුගිය කාලයේ නිවාස අමාත්‍යාංශයේ සම්පත් තමන් හා හිතවතුන් අතර බෙදාගත් අය මේ විවේචන කරන්නට පෙර තමන් රටට කර ඇත්තේ කුමක්දැයි ආපසු හැරී බලන ලෙස ඔවුන්ගෙන් ඉල්ලීමක් කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

තංගල්ල කදුරුපොකුණ 'සතිරගම' උදා ගම්මානය ජනතා අයිතියට පත් කරමින් පැවැති උත්සවයේදී මෙම අදහස් පළ කළ සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවැසුවේය.

''අද නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය සුවිශාල වූ ජනතා සේවයක් සිදු කරන බව මුළු රටම දන්නවා. එය පොදු ජනතාවට සමීප, පොදු ජනතාවගේ හිත සුව පිණිස කටයුතු කරන අමාත්‍යාංශයක්. මෙවැනි අමාත්‍යාංශයකට අද මා නායකත්වය ලබා දෙන විට, අප සිදු කරන ශීඝ්‍ර සංවර්ධනය දැක කුහකයන් පිරිසක් විවිධ විවේචන සිදු කරනවා. පහර පිට පහර ගහනවා. ඔවුන්ගේ අරමුණ මගේ චරිතය ඝාතනය කිරීමයි. අද අප රට පුරා උදා ගම්මාන ඉදි කරනවා. පසුගිය කාලයේ සිටි නිවාස ඇමැතිවරුන්ට මෙවැනි දර්ශනයක් තිබුණේ නැහැ. අපට පැහැදිලි ඉලක්කයක් තිබෙනවා. අද රට පුරා පැහැදිලි නිවාස සංවර්ධනයක් සිදුවෙනවා. සෑම කෙනකුටම දක්නට පුළුවන්. මේ සිදුවන දැවැන්ත නිවාස සංවර්ධන වැඩපිළිවෙළ බලා සිටීමට නොහැකි විරුද්ධවාදීන් පිරිසක් විසින් රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනෙක් සිදු කළ වරදක් මගේ පිට පටවා, මගේ චරිතය ඝාතනය කර මාව වට්ටවන්නට උත්සාහ කරනවා.

පසුගියදා අනුරාධපුර ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් කිහිපදෙනකු සිදුකළ වරදකට විරුද්ධවාදීන් චෝදනා එල්ල කරන්නේ මටයි. මම හිතාමතාම එම නිවාස ව්‍යාපෘතිය පුරාවිද්‍යා භූමියක ආරම්භ කරාලු. එයට මුල්ගල තැබුවේ අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිතුමායි. මෙම ඉඩම වෙන් කළේ ප්‍රාදේශීය ලේකම්තුමියයි. නිවාස අධිකාරියේ නිලධාරීන්ද මෙම වැඩසටහන නිසි පිළිවෙළකට සිදු කළේ නැහැ. ඒ නිසා මා ඔවුන්ගේ වැඩ තහනම් කළා.

මා පැය විසිහතර පුරාම ජනතා සේවයට කැපවී සිටිනවා. ඒ සඳහා මෙම මඩ ප්‍රහාර මට ලොකු ශක්තියක්. ආශීර්වාදයක්. ජනතාවට වැඩියෙන් සේවය කරන විට චරිත ඝාතන වැඩියි. නමුත් මගේ ගමන පිරිසුදුයි. එදා මගේ පියාටත් විවිධ අය චෝදනා එල්ල කළා.

චරිත ඝාතන කළා. ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා සහ ලලිත් ඇතුලත්මුදලි මහතා ඝාතනය කළේ මගේ පියා යැයි කිව්වා. ඔවුන්ව ඝාතනය කළේ එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් බව අද සාක්‍ෂිවලින් ඔප්පු වී තිබෙනවා. ගාමිණී දිසානායක මහතා මිය ගියේ මගේ පියාගේ අභාවයෙන් පසුවයි. නැත්නම් එයත් මගේ පියා සිදු කළා කියාවි. මගේ පියාටත් වඩා මට ඕනෑම ප්‍රහාරයක් විඳ දරා ගැනීමට පුළුවන්.

යහපාලන ආණ්ඩුව ආරම්භ කළ 'යළි පිබිදුණු උදා ගම්මාන' වැඩපිළිවෙළ යටතේ අද දින ජනතා අයිතියට පත් වන්නේ 66 වැනි ආදර්ශ ගම්මානයයි. එය හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල බල ප්‍රදේශයේ කදුරුපොකුණ දකුණු ප්‍රදේශයේ ඉදිවූ 'සතිරගම'යි. එමෙන්ම මෙය හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතා අයිතියට පත් කළ විසිහය වැනි අදර්ශ ගම්මානයයි.
මේ වනවිට අප සතියට දෙකක් හෝ තුනක් වශයෙන් උදා ගම්මාන ජනතා අයිතියට පත් කරමින් සිටිනවා. පසුගිය දින කිහිපය තුළ අපට රට පුරා උදා ගම්මාන රැසක් විවෘත කළා.

මේ වනවිටත් දිවයින පුරා උදා ගම්මාන 710ක කටයුතු ආරම්භ වී තිබෙනවා. ඉන් 139ක්ම ඉදි වන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේයි. අපේ ඉලක්කය වන්නේ වසර 2020 වන විට උදා ගම්මාන 2500ක් රට පුරා ඉදි කිරීමයි. එම ඉලක්කය 2019 වසර අග භාගය වන විට අප සම්පූර්ණ කර තිබිය යුතුයි. ඒ අනුව අප මීළඟ ජනාධිපතිවරණයට හෝ මහ මැතිවරණයට ඉදිරිපත් වන්නේ රටේ උදා ගම්මාන 2,500ක් ඉදිකිරීමෙන් පසුවයි. යහපාලන ආණ්ඩුව යටතේ ඓතිහාසික නිවාස සංවර්ධනයක් හරහා මෙරට සැමට සෙවණ ලබාදීමට මා කැප වෙනවා.''

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon