බි්‍රතාන්‍ය ශල්‍ය වෛද්‍යවරයා කළ සැත්කමකදී කතක් මිය ගිහින්

  👤  4097 readers have read this article !
By mawbima 2018-05-21

ඉමදුව - ටී. විතානවසම්

ගාල්ල, කරාපිටිය රෝහලේ හෘද සැත්කම් සිදුකරන බි්‍රතාන්‍ය ජාතික වෛද්‍ය ආර්.කේ. ෆර්මින් අතින් ඉකුත් 18දා ශල්‍යාගාරය තුළ ශල්‍ය මේසය මතදීම 69 හැවිරිදි කාන්තාවක් මියයෑම වෛද්‍ය ආචාරධර්මයන්වලට ඉඳුරාම පටහැනි බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ගාල්ල කරාපිටිය රෝහලේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවැසීය.
මේ මාධ්‍ය නිවේදනය මඟින් ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මිය ගිය කාන්තාවට බයිපාස් සැත්කමක් කරමින් සිටින අවස්ථාවේදී ඇය මෙසේ ශල්‍ය මේසය මතදීම මියගොස් ඇති බවයි. මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.

මේ බි්‍රතාන්‍ය ජාතික වෛද්‍යවරයා තම මවු රටේ සැත්කම් කිරීමට තබා වෛද්‍යකර්මයේ යෙදීමටවත් අවසර නැතිව තිබියදී ගාල්ල කරාපිටිය රෝහල තුළ හෘද සැත්කම් සිදුකිරීම නිසා සිදුවූ අවාසනාවන්ත මරණයක් පිළිබඳව මීට පෙරද සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කරන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස අදාළ වෛද්‍යවරයාට වෛද්‍යකර්මයේ නියැළීමට අවශ්‍ය යෝග්‍යතා සහතිකය මාස තුනක් ඇතුළත ලබාදෙන ලෙස දන්වා ඇත. එසේම ඔහු සම්බන්ධයෙන් වන පැමිණිලි විභාග කරන ලෙසද සෞඛ්‍ය අමාත්‍යාංශයට නිර්දේශ කර ඇත. එකී නිර්දේශයෙන් පසු බි්‍රතාන්‍ය ජාතික වෛද්‍ය ආර්.කේ. ෆර්මින් හා වෛද්‍ය ටී. හරිස්චන්ද්‍ර යන වෛද්‍යවරුන් දෙපළට ඇති පැමිණිලි විභාග කර එහි වාර්තාවක් තමාට ඉදිරිපත් කරන ලෙස ගාල්ල කරාපිටිය රෝහලේ අධ්‍යක්‍ෂවරයාට නියෝග කර ඇත.
මෙවැනි තත්ත්වයක් යටතේ පසුගිය 18 දින 69 වියැති කාන්තාවක් බයිපාස් සැත්කමක් සිදු කරමින් සිටින විට ශල්‍යාගාරය තුළ ශල්‍ය මේසය මතදීම මියගොස් තිබෙනවා. තම සුදුසුකම් තහවුරු කිරීමට සහන කාලයක් ලබාදී තිබියදී මෙලෙස රෝගී ජීවිත අනතුරේ හෙළීම වෛද්‍ය ආචාරධර්මයන්වලට ඉඳුරාම පටහැනි ක්‍රියාවක් බව අපගේ අදහසයි. කෙසේ නමුත් මොහුට විරුද්ධව ලබා දී ඇති පැමිණිල්ල අනුව රෝහල විසින් මෙතෙක් පරීක්‍ෂණ ආරම්භ කර නොමැති නිසා එම පරීක්‍ෂණය කඩිනමින් ආරම්භ කරන ලෙසටත් එම විමර්ශන කටයුතු අවසාන වන තෙක් රෝගී ජීවිතවල සුරක්‍ෂිතතාව සුරකිනු පිණිස අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසත් එසේ නොවන්නේ නම් අහිමි වන රෝගී ජීවිතවල වගකීම රෝහල් අධ්‍යක්‍ෂතුමන් විසින් භාරගත යුතු බව දැඩිව අවධාරණය කර සිටිනවා.
මේ සම්බන්ධයෙන් ගාල්ල කරාපිටිය රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ජයම්පති සේනානායක මහතාගෙන් විමසීමේදී ඔහු මෙසේ පැවැසීය.

'මේ පරීක්‍ෂණය භාර දීලා තියෙන්නේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයාට. ඔහු පසුගිය දිනවල විදේශගත වෙලා හිටියේ. කොහොම වුණත් ඔහු ඉරිදා මෙරටට පැමිණියා. පසුගිය 18 වැනිදා මියගිය පුද්ගලයාගේ සහ ඊට පෙර මාසයක පමණ කාලයදී මියගිය පුද්ගලයන් දෙදෙනාම ගැන පරීක්‍ෂණය අද සිට (21දා) ආරම්භ කරනවා. බි්‍රතාන්‍ය ජාතික වෛද්‍ය ආර්.කේ. ෆර්මින් මහතාට අවසරය දීලා තියෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන්. මොනවා වුණත් ඔහුගේ වාර්තා ඉදිරිපත් කිරීමට ඔහුට මාස තුනක කාලයක් ලබාදී තියෙනවා. ඒ කාලය තුළ සැත්කම් නවත්වන්න කියලා අමාත්‍යාංශයෙන් කියලා නෑ.'

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon